தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව 'කොළ පැහැති' වාර්තාවක් - උදය ගම්මන්පිල | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව ‘කොළ පැහැති’ වාර්තාවක් – උදය ගම්මන්පිල



පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාව එජාපයට පක්‍ෂග්‍රාහී ලෙස සකස් කර තිබෙන බැවින් විපක්‍ෂ මන්ත්‍රීවරුන් එම වාර්තාව ප්‍රතික්‍ෂේප කරන බව පාර්ලිමේන්තුවට, කථානායකවරයාට හා අදාළ කමිටුවට දැනුම්දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

2018 නොවැම්බර් 14 , 15,16 යන දිනයන්වලදී පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම විමර්ශනය කිරීම සඳහා කථානායකවරයා විසින් කමිටුවක් පත්කර තිබුණි. ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට විරුද්ධ චෝදනා එල්ලවී තිබෙන බව මේ සිද්ධින් පිළිබඳව විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු කමිටු වාර්තාව හෙළි කර තිබේ.

නමුත් ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසන්නේ අදාළ වාර්තාව මගින් සන්ධානයේ සාතිශය බහුතරයක් මන්ත්‍රීවරුන්ට එරෙහිව සභාගැබ මැදට පැමිණීම පිළිබඳ චෝදනාව එල්ල කර තිබුණද, එසේ සභාගැබට පැමිණි එ.ජා.ප.මන්ත්‍රීවරුන් නිදහස් කර තිබෙන බවයි.

එදින නලීන් බණ්ඩාර,නවින් දිසානායක, දයා ගමගේ, මංගල සමරවීර, මුජිබර් රහ්මන්, ජේ.සී. අලවතුවල, හේකටර් අප්පුහාමි,හරින් ප්‍රනාන්දු වැනි එ.ජා.ප.මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය වීඩියෝපටවල සටහන්ව තිබුණද, කමිටු වාර්තාවේ ඔවුන්ගේ නම් නොමැති බවද හෙතෙම පවසයි.

විජිත හේරත් මන්ත්‍රීවරයාගේ විශ්වාසභංග යෝජනාව භාරගැනීම හේතුවෙන් පාර්ලිමේන්තු ගැටුම ඇතිවූ බැවින් කථානායකවරයාද එහි වරදකරුවෙකු බවත්,ඒ සම්බන්ධව කමිටු වාර්තාව අවධානය යොමුකර නොමැති බවත් උදය ගම්මන්පිල ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54ක්, එ.ජා.ප.යේ මන්ත්‍රීවරුන් 4ක් සහ ජ.වි.පෙ.මන්ත්‍රීවරයෙකු වරදකරුවන් කරමින් සකස් කළ මෙම කමිටු වාර්තාව ‘කොළ පැහැති වාර්තාවක්’ ලෙස හැඳින්විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.