Posted on 06.29.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) අහ්නාෆ් ජසීම් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔහුගේ නීතිඥයාට ඒ බව දැනුවත් නොකළේ අහ්නාෆ් විසින් ඒ සඳහා ඉල්ලීමක් නොකළ බැවින් යැයි පොලිස් පරික්ෂකවරයෙක් අධිකරණයට කරුණු දක්වා ඇත.
ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂක කපිල හේමන්ත අද(29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අංක 44230/08/20 දරණ නඩුවේදී මෙම කරුණු දැක්වීම සිදුකර ඇත්තේ ජූනි 12 වැනිදා අහ්නාෆ් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ඒමේදී නීතිඤවරයාට හෝ ඥාතීන්ට ඒ බව නොදැන්වීම සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු වශයෙනි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන, වසරක් තිස්සේ කිසිදු නීතිඥ සහයක් නොමැතිව රඳවා සිටින අහ්නාෆ් ජසීම් මෙරට නීතිය අනුව හිමි විය යුතු නීතිඥ සහාය වැළැක්වීමට ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් හේතු දක්වා ඇත්තේ ‘කිතුල් ගහට නැගි මිනිහා තණ කොළ නෑ ගහ මුදුනේ’ යැයි කියු ආකාරයෙනි.
රැඳවියකු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නීතිඥවරයාට හෝ ඥාතීන්ට දැනුම් නොදී, රැඳවියාට හිමි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හිතාමතාම අපොහොසත් වීම සාධාරණීකරණය කරමින් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයා අද අධිකරණයේදී කරුණු දක්වා ඇත්තේ නිසිදු වගකීම් සහගත රජයේ නිලධාරියකු වශයෙන් නෙවන බව පැහැදිලිය. ඔහුට මහජන බදු මුදලින් වැටුප් ගෙවන්නේ දේශපාලන බලය වෙනුවෙන් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට නොව, මෙරට ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස රාජකාරියේ යෙදීමටය.
2020 මැයි මස 16 වැනිදා අත්අඩංගුවට 26 හැවිරිදි අහ්නාෆ් ජසීම්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකයට මාස ගණනක් ගත වී තිබිණි. එපමණක් නොව, ඥාතීන්ට හෝ නීතිඥවරයාට නොපෙන්වා ඔහු මාස 10ක් රඳවා තැබීමට කටයුතු කර ඇත. නීතිඥවරයා හමු වූ පළමු අවස්ථාවේ සිට පොලිසිය නීතීඥයා සමග කරන සංවාද වාර්තා කරමින් නීති සහාය සම්බන්ධ අයිතිවාසිකම් උල්ලංඝනය කර නීතිඥ වෘත්තිය මෙන්ම මෙරට අධිකරණ ක්රමයද හාස්‍යයට ලක්කර ඇත.
2020 වර්ෂයේ දෙසැම්බර් මස 11 වන දින ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අනාෆ්ගේ නවරසම් ග්‍රන්ථයේ අන්තවාදී අදහස් අඩංගු බවට චෝදනා නඟමින් වාර්තාවක් ගොනුකරන ලදී.
ඉන්පසුව ජූනි 12 දින ගොනු කරන ලද වැඩිදුර වාර්තාවේ අහ්නාෆ්ට එරෙහිව තවත් චෝදනා ඉදිරිපත් කර තිබේ.
අහ්නාෆ් ජසීම් කවියාට අන්තවාදය වපුරන බවට චෝදනා නැගීමට ඔහු ලියූ ‘නවරසම්’ කවි එකතුව සම්බන්ධයෙන් කිසිදු පිළිගත හැකි ක්‍රමයකට කරුණු දැක්වීමක් පොලිසිය විසින් සිදුකර නැත. කාව්‍ය ග්‍රන්ථයේ පරිවර්තන සිදුකර ඇත්තේ කාව්‍ය සම්බන්ධ හෝ තමිල් සාහිත්‍ය සම්බන්ධ විද්වතකු විසින් නොව, අධිකරණ කටයුතු පරිවර්තනය කරන පුද්ගලයකු විසින් බවද අනාවරණය වේ. එපමණක් නොව, ඒ කවි මිනිස් මනසට ප්රචණ්ඩ ආවේගයන් ඇති කරන බවක් නිර්දේශ කර ඇත්තේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවය. මෙවැනි හේතු අනුව, පොලිසිය විසින් කිසියම් දේශපාලන අරමුණකින් සැඟවුණු අරමුනක් සපුරාගැනීමට මෙම කවියා බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බව පැහැදිලිය.