මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශය නොපිළිගන්නා බවට ලක්ෂ්මන් කිරිඇල්ල කළ යෝජනාවට කථානායකවරයා ජන්දයක් විමසීමට තීරණය කිරීමත් සමඟ මහින්ද පාර්ශවයේ පිරිස් ඉදිරියට පැමිණ දැක්වූ විරෝධතාවය අවසානයේ ගුටි කෙළියක් බවට පත්විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එයට විරෝධය දක්වමින් සභාව මැදට පැමිණීම එයට හේතුවයි.
මෙහිදී පිරිසක් කථානායකවරයාට බණිමින් කුණු කූඩවලින් සහ වතුර බෝතල්වලින් පහරදී තිබේ. තවත් පිරිසක් කථානායකවරයාගේ මේසය මත තිබූ භාණ්ඩ බිමට ඇද දැමූ අතර දිලුම් අමුණුගම කතානායකවරයාගේ මයික්‍රෆෝනය ඇද කඩා දැමීමට උත්සාහ කිරීමේදී තුවාල සිදුවිය. එසේම කථානායකවරයාගේ අවට සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ මහින්ද පාර්ශවය ගුටි බට හුවමාරුවක්ද ඇතිකරගන්නා ලදී.
එසේම පාලිත තෙවරප්පෙරුම පිහියක් වැනි යමක් රැගෙන පොරබදන ආකාරයද දක්නට ලබුනි.
එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පොරබැදීමක් දක්නට ලැබුණු අතර මේ පොරබැදීම අවසන් වූවේ ඒ මන්ත්‍රීවරුන් පිරිස එක පොදියක් ලෙස බිම අද වැටීමෙන් අනතුරුවයි.
ගැටුම්කාරී තත්ත්වය දිගින් දිගටම වර්ධනය වීම නිසා පසුව කතානායකවරයා සභාව කල් තබා පිටව යන ලදී.
පාර්ලිමේන්තුව ජනතාවගේ මතය නියෝජනය කරන ආයතනය ලෙස සළකයි. මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කළ යුත්තේ රටේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතායි. එහෙත් තවදුරටත් පාර්ලිමේන්තුව ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරන්නක් නොව කෝලම් මඩුවක් බවට පත්ව තිබේ. තම බලය පවත්වාගෙන යාම සඳහා එකෙකු දෙන්නෙකු මරන්නට වුවත් සුදානම් තත්ත්වයට මන්ත්‍රීවරුන් පත්ව සිටින ආකාරය ඊයේ(15) සිදුවීම්වලින් දැකගත හැකිවිය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නම් කිසිවක් තවදුරටත් ඉතුරුව නොමැත. සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා ඉටු නොකරන පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාවගේ විශ්වාසයද ගිලිහෙමින් පවතියි.