බුදුන් රස්තියාදු ගැසූ බව කියමින් රෙදි ගලවා ගත් ඇමති වෙත,

සැප්තැම්බර් 11 වැනිදා පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජේදාස රාජපක්ෂ කළ ප්‍රකාශය පුවත්පත්වල පළ කර තිබිණි.
මෙවර බණ්ඩාරනායක ජාත්‍යන්ර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති එම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අමතමින් උසස් අධ්‍යාපන සංස්කෘතික අැමතිවරයා නිර්මාණකරුවන් පිරිසකට අවමන් කළේය. ඔහු නම් සදහන් කරමින් ‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතිය ලියූ ලේඛකයා කලාකරුවකු නොව, ද්‍රෝහියකු බව නොකියා කීවේය. එපමණක් නොව, ‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතිය ලියා ඇත්තේ නොසරුප් බසින්යැයි කියන ඇමතිවරයා, බුදුන් රස්තියාදුකාරයකු ලෙස හදුන්වා ඇතැයිද පවසමින් කෘතිය ලියූ ලේඛකයා වෙතත් එය මුද්‍රණය කළ, ප්‍රකාශයට පත්කළ සහ රසිකයන් ලෙස ඇගයීමට ලක් කළවුන්ට එරෙහිව, ජනයාගේ වෛරය අවුස්සමින් සිටී.
ඇමතිවරයාගේ විෂය කලා හා සංස්කෘතික කටයුතු වනවිට අඩු ගානෙ ඒ පොත්පත් කියවිය යුතු බව මූලික අදහසකි. එහෙත් පළකරන හැම පොතක්ම කියවන්නට සාමාන්‍ය මිනිසකුට දුෂ්කරය. ඇමතිවරයකුට උපදේශකයන්, නිලධාරින් ඉන්නෙ ඒ වෙනුවෙනි. පොත කියවා යමක් වටහා දීමට කිසිවකු නොසිටියා විය හැකිය. එසේ නම් අඩු ගානේ තමන් කතා කරන කෘතිය කියවා එය ගැන අදහස් පළ කරන්නට ඇමතිවරයා අවංක විය යුතුව තිබිණි. ‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතිය නොකියවා අදහස් පළ කළ ඇමති විජේදාස, සීතාම්බර පටසලුව ඇදි රජා වැනි විසුලුකාරී පුද්ගලයකු තැනට ඇද වැටුණි. ‘බුදුන් රස්තියාදුකාරයෙක් බව කිවන ලේඛකයා තව ටික දවසකින් ජේසුස් ඇතුළු අනෙකුත් ආගමික ශාස්තෘන්ද රස්තියාදුකාරයන්යැයි කියන්නට ඉඩ ඇතැ‘යි පවසමින් ඇමතිවරයා කවටයකු බවට පත්ව තිබේ. එයින්ද නොනැවතී ඇමතිවරයා පවසන්නේ මෑතකදී වාරණයට ලක් වූ කෘති සම්බන්ධයෙන් හඩ නැගූ කලාකරුවන් වන්දිභට්ටයන් බවය. (‘වන්දිභට්ටකම‘ යනු වචනාර්ථයෙන්ම පවතින දේශපාලන බලයට ආවැඩීම, ප්‍රශංසා කිරීම බැවින් ඇමතිවරයා වචන භාවිතයේදී පවා ඒ ගැන නොදන්නා බව පහසුවෙන්ම වටහා ගත හැකිය)
බුදුන්ගේ රස්තියාදුව කෘතිය වාරණය කිරීම හෙළා දකිමින් අනෙකුත් කෘති වාරණය නොකළ යුතු බවට අදහස් පළ කළ පිරිස විශාලය. නිර්මාණකරුවාගේ අයිතිය හා රසිකයාගේ අයිතිය යන දෙපාර්ශ්වයෙන් ගත් කළ වාරණය මූලික අයිතිවාසිකම් පවා නොසළකන්නක් බව වාරණයට එරෙහිව අදහස් පළ කළවුන්ගේ ස්ථාවරය විය. ඔවුන් කලාකරුවකු වෙනුවෙන් අදහස් දක්වන්නේ නිර්මාණ අයිතිය හා ජනතාවට ඒවා විදීමට ඇති අයිතිය වෙනුවෙන් මිස පුද්ගලයකුට ගැතිකම් කරන අදහසින් නොවේ. ඇමතිවරයා කියන ‘වන්දිභට්ටකම‘ කළේ අගෝස්තු මස 23 වැනිදා මාධ්‍ය හමුවකදී අදහස් පළ කලාකරුවන් පිරිසකි. ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව“ කෘතිය, අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය සහ මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් කලාකරුවෝ රැසක් එහිදී අදහස් පළ කළහ. එසේම වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ‘ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය‘ අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු කරනවා වෙනුවට එම ආයකනය හරහා කලාකෘති වාරණය කිරීම පිළිබද කලාකරුවෝ දැඩි විරෝධයක් පළ කළහ. ‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ යන තේමාවෙන් කැදවන ලද මේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් ආණ්ඩුවේ වාරණයට විරෝෙධය දැක්වූ කලාකරුවන්, වාමාංශික ක්‍රියාකාරින් සහ විද්වතුන් මෙසේය

  • ප්‍රසන්න විතානගේ,
  • ධර්මසිරි බණ්ඩාරනායක,
  • ලූෂන් බුලත් සිංහල,
  • අශෝක හදගම,
  • උපුල් ශාන්ත සන්නස්ගල,
  • කේ.කේ. සමන් කුමාර,
  • නදීකා බණ්ඩාර,
  • විමුක්ති ජයසුන්දර,
  • රාජිත දිසානායක,
  • බූපති නලීන් වික්‍රමගේ,
  • ප්‍රියන්ත කොඩිප්පිලි,
  • මාලක දේවප්‍රිය,
  • ජෙහාන් ශ්‍රී කාන්ත,
  • අසංක සායක්කාර,
  • ශ්‍රීනාත් චතුරංග,
  • තුමිදු දොඩන්තැන්න,
  • ජගත් මනුවර්ණ,
  • සංජීව පුෂ්පකුමාර
  • විදර්ශන කන්නංගර
  • පුබුදු ජයගොඩ,
  • නිර්මාල් රංජිත් දේවසිරි
  • අතුලසිරි සමරකෝන්
එසේම ආණ්ඩුවේ කලා වාරණයට විරෝධය දක්වන්නට ඒකරාශි වූ තවත් කලාකරුවන් හා විචාරකයන් පිරිසක් ද සිටිති. තමන්ද ආණ්ඩුවේ වාරණයට විරුද්ධ නමුත් යම් යම් හේතු නිසා සහභාගිවන්නට නොහැකි බව තවත් අය ප්‍රකාශ කර තිබුණු නිසා සහභාගි වූවන් පමණක් සදහන් කරන්නේ නම් ඒ මෙසේය.
  • චාන්දනී සෙනෙවිරත්න,
  • දමයන්ති ෆොන්සේකා,
  • කත්‍යානා අමරසිංහ,
  • හෙන්රි වර්ණකුලසූරිය,
  • මොහන්රාජ් මඩවල
  • ජයන්ත අමරසිංහ
  • අජන්ත අලහකෝන්
  • සහන් කසීර වික්‍රමසිංහ
  • චන්දන සිරිමල්වත්ත
  • නදී වාසලමුදලිආරච්චි
  • මලිත් හෑගොඩ
  • ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජේදාස රාජපක්ෂ රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී කිවේ සියල්ලන්ම වන්දිභට්ටකම් කළ බවද? සදාචාරයක් ඇත්නම් ඇමතිවරයා මේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය.

‘බුදුන්ගේ රස්තියාදුව‘ යනුවෙන් නිර්මාණකරුවකු කෘතියකට නමක් තබන්නේ යම් සංකේතික, කලාත්මක අදහසක් කැටිකර දැක්වීමටය. ‘බුදුන් රස්තියාදු ගැසූ බව‘ කීමට පොතක් ලියන්නට අවශ්‍ය නැත. රාජ්‍ය සාහිත්‍ය උළෙල ඇමතීමේදී ඇමතිවරයා සිය කතාවේදී කී ආකාරයට එය ඍජුව වාක්‍යකින් පැවසිය හැකිය. නිර්මාණකරු ශ්‍රීනාත් චතුරංග බුදුන් රස්තියාදු ගැසූ බවක් පවසා නැත. නමුත් ඇමතිවරයා කියන්නේ තමන්ට ඒ අදහස මතු වූ බවය. මෙවැනි අදහසක් එන්නට තරම් ඇමතිවරයාගේ කලා විචාරය පිළිබද අපි විශ්මයට පත් විය යුතු නැද්ද? එසේ නැත්නම්  උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති ලෙස මේ සමාජයේ වාසනාවකට හෝ අවාසනාවකට පත් වූ විජේදාස රාජපක්ෂ කල්පනා කරන්නේ බුදුන් රස්තියාදුකාරයෙක් බවය. එසේ කල්පනා කරන්නට ඔහුට අයිතියක් ඇත. මන්ද යත් කල්පනා කිරීම තහනම් කරන්නට ඇමතිවරයා ඇතුළු වත්මන් පාලකයන් තීරණයක් ගෙන ැති නිසාය. බුදුන් රස්තියාදු ගැසූ බව කීමෙන් බුදුන්ට අවමානයක් වනබව සිතන්නේ බුදුන් නමැති ආගමික ගුරුවරයා සම්බන්ධ වටහා ගැනීමක් නැති කෙනෙකි. දැන් අප ඇමතිවරයා කළ කතාව වෙත ආපසු ගියහොත් ඇමතිවරයා බුදුන් සම්බන්ධ දරන අදහස බුදුන් රස්තියාදු ගැසූ පුද්ගලයකු බවය. රස්තියාදු ගැසීම ගැන විවිධ පුද්ගලයන් අදහස් කරන්නේ විවිධ කරුණුය. සාමාන්‍යෙයන් භාෂා අර්ථයෙන් ගත්විට තේරුමක් නැතිව, අරමුණක් නැතිව යන ගමන්වලට, අයාලේ යාමට රස්තියාදුවක් ලෙස කිව හැකිය. බුදුන් සම්බන්ධයෙන් නොදත් අයකුට එසේ කීමට අයිතියක් ඇති නමුත් බුදුන් ගැන දන්නවා යැයි කියන ඇමතිවරයා ඒ ගැන කළබලවීමෙන් වෙනත් කරුණක් අපට ඒත්තු යාම ගැනද කිවයුතුය. ඒ ඇමතිවරයාද බුදුන් රස්තියාදු ගැසූ බවක් සිය යටි හිතේ සගවා ගෙන සිටින බවය. නැවත අප කියන්නේ ඇමතිවරයාට ඒ ගැන හිතන්නට හෝ ප්‍රසිද්ධියේ කියන්නට තහනමක් නැති බවය.

නමුත් ඇමතිවරයා සැප්තැම්බර් 11 වැනිදා පැවති රාජ්‍ය සාහිත්‍ය උලෙලේදී ප්‍රසිද්ධියේ කියන්නේ ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව‘ නමැති කෘතිය තුළින් එවැනි අදහසක් පවසන බවය. එහිදී ඇමතිවරයා හෙළි කරන්නේ සිය නිරුවතය. එක් පැත්තකින් නිර්මාණකරුවකු අදහසක් පළ කරන විට ඒ නිර්මාණය සම්බන්ධ කියවා ගැනීමක් නැතිව වේදිකා ගානේ දෙස් දොවොල් තබන්නට ඇමතිවරයා කිසිදු ලජ්ජාවක් නැතිව ඉදිරිපත් වන බව අනාවරණය වේ. එපමණක් නොව, තමන් උඩ පනිමින් තඩිබාන කෘතිය කියවා නැති බවද ඇමතිගේ කතාවෙන් වටහා ගත හැකිය. වෘත්තියෙන් නීතිඥයකු ලෙස ප්‍රකට ඇමතිවරයා කතා කරන දේ ගැන පිච්චියක දෙයක් නොදන්න බව නම් යහමින් අනාවරණය වේ.

සිය කතාවේදී ඇමති විජේදාස රාජපක්ෂ විසින් ලංකාවේ ප්‍රකට ලේඛකයන් ඇතුළු කලාකරුවන් පිළිබද නම් සදහන් කරමින් ඔවුන් කළ මෙහෙවර වර්ණනා කළේය. එකී මෙහෙවර දැන් සිදුකරමින් ඉන්නේ කවුරුන්ද යන්න පිළිබද ඔහු කිසිවක් කතා නොකළ තරම්ය. මේ වනවිට සාහිත්‍ය කලාවන්හි යම් පිබිදීමක් ඇතිව තිබෙනවා නම් එය පවතින සමාජ ආර්ථික කොන්දේසිවලින් පැන නැගෙන දුෂ්කරතා හමුවේ නිද්‍රාශීලී නොවී ජීවිතය සහ මනුෂ්‍යත්වය ජයගැනීමේදී සිදුවූ ප්‍රතිපලයක් ලෙස වටහා ගන්නට ඇමතිවරයා සමත් නැත. ඒ වෙනුවට විචාරයක් නැතිව ආගම හා වෙනත් එවැනි දෙීම් පටු අර්ථයෙන් සළකා බලමින් ම්ලේච්ඡත්වය ව්‍යාප්ත කරන ව්‍යාපෘතියේදී ඇමතිවරයා පෙනී සිටින භූමිකාව පැහැදිලි වේ.

– අජන්තා එම්. ජයසේකර –

Chandana Sirimalwatte :