Posted on 09.17.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
නව මංතීරු ක්‍රමය යටතේ බස්රථ මංතීරුවේ ත්‍රීරෝද රිය සහ යතුරුපැදි ධාවනය කරවීමට පොලීසිය ගෙන ඇති තීරණයට විරෝධය පළකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා තිබේ. ඊට අමතරව මෙම තීරණයට එරෙහිව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය (එල්පීබීඕඒ) නීතිමය පියවර ගනු ලබන බවද ඔහු පවසා තිබේ.
සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත්තේ 1940 වසරේදී බස් රථ සඳහා විශේෂිත මංතීරුවක් ගැසට් කර ඇති බවයි.
මෙම තීරණය ඉවත් කරගැනීමට පොලීසිය කටයුතු නොකළහොත් සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද විජේරත්න සඳහන් කර ඇත.
බස් රථ මංතීරුව ගැසට් කර තිබියදී එහි ත්‍රී රෝද රථ සහ යතුරුපැදි ගමන් කිරීම නීති විරෝධී බවත් රටේ පවතින නීතිරිතී පොලීසිය විසින්ම කඩකිරීමට එරෙහිව ඉදිරියේදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය නුගේගොඩදී කැඳ වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
ත්‍රී රෝද රථයක උපරිම වේගය පැයට කිලෝමීටර් 40ක්ව තිබියදී මගීන් හැට හැත්තෑවක් ගෙනයන බස්රථයක් එය පිටුපසින් ධාවනය කිරීම බරපතල ගැටලුවක් වී ඇතැයිද මෙම මංතීරු නීතිය හේතුවෙන් යතුරු පැදිකරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම පොලිසිය භාර ගන්නේදැයි ප්‍රශ්න කරන බවත් ගැමුණු විජේරත්න පැවසීය. මං තීරු දෙකක් පමණක් ඇති ඇතැම් මාර්ගවල මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.