Posted on 01.20.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩනය නියම වී ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ මරණීය දණ්ඩනය වෙනුවට ජිවිතාන්තය දක්වා සිර දඩුවමක් බවට ලිහිල් කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.
එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් මාධව වීරසිංහ ජනවාරි 19 අඟහරුවාදා නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි හා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අතර පසුගියදා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී එම තීරණ ගත් බවයි.
1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් බන්ධනාගාර ව්‍යවස්ථාපිත නීති සංග්‍රහයේ 40 වගන්තිය අනුව සිව්වස් සමාලෝචන වාර්තා අනුව දඩුවම් ලිහිල් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී තිබේ.
මහර බන්ධනාගාරයේ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කර කඩිනමින් ක්‍රියාවට නැංවීමට හැකි කරුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වු බව මාධ්‍ය ලේකම් මාධව වීරසිංහ නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.