බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාවෙන් මරණ දණ්ඩනය අහෝසි කරන ලෙස නැවත වතාවක් ඉල්ලා තිබේ. ආසියාව සහ ෆැසිපික් කලාපයේ රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් පවසා තිබුණේ මරණ දඬුවම සම්බන්ධව බ්‍රිතාන්‍යයේ සහ යුරෝපා සංගමය දරන මතය සම්බන්ධ හොඳ අවබෝදයක් ලංකාවට ඇති බැවින් මරණ දඩුවම ක්‍රියාත්මක නොකරනු ඇති බව බලාපොරොත්තු වන බවයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරගත් ‘මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම’ පිළිබඳ යෝජනාවට, ශ්‍රී ලංකාව පක්ෂව ඡන්දය ලබා දී තිබේ.
නමුත් පසුගිය කාලයේ සිට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන්ව මරණීය දණ්ඩනය පැනවුණු පුද්ගලයින් සඳහා එසේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් අත්සන කිරීමට සුදානම් බව ජනාධිපතිවරයා පවසමින් සිටියි. පසුව ජනාධිපතිවරයාම පැවසුවේ එලෙස මරණ දඬුවම නියමවූවන්ගේ ලිපි ගොණු සම්බන්ධ ප්‍රශනයක් පවතින බවය. කෙසේවෙතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා බව පවසමින් අළුගෝසු තනතුර සඳහා බඳවා ගැනීම් සිදුකිරීමට සහ එල්ලුම් ගස සඳහා කඹ මිලදී ගැනීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටියි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මරණ දඬුවම හැත්තෑව දශකයේ අගභාගයේ අත්හිටුවනු ලැබුණි. මේ වනවිට මරණ දඬුවම නියමවූ පුද්ගලයන් 374 දෙනකු මේ වනවිට සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.