தமிழ்
English
Contact
Thursday 26th May 2022    
මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම් - ගමන් බලපත්‍ර භාරදීම ප්‍රමාදයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම් – ගමන් බලපත්‍ර භාරදීම ප්‍රමාදයි!



හිටපු ජනාධිපති, පොදුජන පෙරමුණ ආණ්ඩුවේ හිටපු අගමැති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීම ප්‍රමාද කර ඇති බව අද(26) අධිකරණයේදී වාර්තා විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගත් අතර එසේ ප්‍රශ්න කරන ලද්දේ ඔහුට අයත් කොළඹ නිල නිවසේ බව ප්‍රකාශ විය. මෙම පැය 3ක පමණ කාලයක් ප්‍රශ්න කිරීම සිදුව ඇත්තේ මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයේ සිට පිටවූ ප්‍රචණ්ඩ ප්‍රහාරකයන් සම්බන්ධයෙන් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණ නියෝගයක් නොතකා මෙතෙක් අධිකරණයට භාරදී නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. සාමකාමී විරෝධතාකරුවන්ට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් විභාගය, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙම කරුණු අනාවරණය කළාය.

මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ මහ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම ඇතුළු කිහිප දෙනෙකු විසින් සිය විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමට මෙතෙක් අපොහොසත් වී ඇති බව එහිදී හෙළි විය.
හිටපු අැමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ගමන් බලපත්‍රය, නොසන්සුන්තාව අතරතුරදී පිරිසක් විසින් පහර දී ගිනි තැබූ නිවසේදී විනාශ වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.

කෙසේ වෙතත්, අධිකරණ නියෝගයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන සහ කංචන ජයරත්න සිය විදේශ ගමන් බලපත්‍ර භාරදී ඇති බව සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, සී.බී.රත්නායක, සම්පත් අතුකෝරල, කංචන ජයරත්න, දේශබන්දු තෙන්නකෝන්, මහින්ද කහඳගම, රේණුකා පෙරේරා, අමිතා අබේවික්‍රම, දිලිත් ප්‍රනාන්දු සහ පුෂ්පලාල් යන අයට විදෙස් ගමන් තහනමක් පැනවීමෙන් පසු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ලබාදුන් නියෝගයකට අනුව අදාළ විදේශ ගමන් බලපත්‍ර භාරදෙන ලෙස ඉල්ලා තිබිණි.