මහින්ද, ශ්‍රිල.නි.ප.යෙන් ඉවත්වේ – මෛත්‍රි පරදවන සෙල්ලමට අර අදී!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා නිදහස් පක්සයෙන් ඉවත් වී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පරාජය කර මීළග ජනාධිපතිවරණය දක්වා සූදානම් කරන ලද දේශපාලන සැලැස්මේ මීළග පියවර බවට දේශපාලන නිරීක්ෂකයෝ අදහස් දක්වති.

හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ අද(11) පෙරවරුවේ මෙසේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙන්ම පසුගියදා රනිල් වික්‍රමසිංහ බලයෙන් නෙරපා ජනාධිපතිවරයා විසින් පත් කළ අගමැතිවරයා වන මහින්ද රාජපක්ස ශ්‍රිල.නි.ප. අණුශාසාකවරයකු ලෙසද පත්කර තිබිණි. මහින්ද රාජපක්ෂ සිය පුත්‍ර නාමල් රාජපක්ෂ ඇතුලු මන්ත්‍රිවරු 27ක් මෙසේ එක් අවස්ථාවකදී ශ්‍රීල.නි.ප. හැර යාම දේශපාලන බල ක්‍රීඩාවේ සුවිශේෂි අවස්ථාවක් බවට දේශපාලන අදහස් පළ වෙමින් තිබේ. එසේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් පිරිස පවසන්නේ ශ්‍රිල.නි.ප. සමග එක්ව තරග කරන බවකි. එහෙත් පසුගිය පෙබරවාරි 10 පළාත්පාලන මැතිවරණයෙන් විශාල ඡන්ද පදනමක් සාදාගත් ශ්‍රීල.පො.පෙ. පොහොට්ටුව ලකුණින් තරග කිරීම හා ශ්‍රිල.නි.ප. නිර්මාණය කිරීමට කැපවූ ඩී.ඒ.රාජපක්ෂගේ පුත්‍ර මහින්ද රාජපක්ෂ එම නව පක්ෂයේ නායකත්වය භාරගැනීම යනු දේශපාලන වශයෙන් නැවත පිරිමැසිය නොහැකි පාඩුවක් බව ශ්‍රීල.නි.ප. ජ්‍යෝෂ්ටයන්ගේ අදහසය. මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් ලෙස සිටි මන්ත්‍රිවරු 27ක්  පිරිසක් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීම මින් පෙර ශ්‍රිල.නිප. බෙදීම් හා දෙදරා ගිය අවස්ථා හා සැසදිය හැකි හා ඊටත් වඩා බලවත් කම්පනයක් ඇතිකරවනු ඇති බව ඔවුහු පවසති.

අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහාචාර්යවරයා අතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගත් අතර ඉන්පසුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, ටී.බී ඒකනායක, චන්දිම වීරක්කොඩි, සුසන්ත පුංචිනිලමේ, සුමේධා ජී ජයසේන, තාරානාත් බස්නායක, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන අය සාමාජිකත්වය ලබා ගෙන තිබේ. ඊට අමතරව මහින්දානන්ද අළුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී.බී රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, ෂෙහාන් සේමසිංහ, නාමල් රාජපක්ෂ, ජනක වක්කුඹුර, දුලිප් විජේසේකර, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ප්‍රියංකර ජයරත්ත, නිමල් ලන්සා, කාංචන විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ, ඩී.වී චානක, ප්‍රසන්න රණවීර, යන හිටපු මන්ත්‍රීවරුන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

Chandana Sirimalwatte :