මිල වැඩිකරන තෙක් කිරි පිටි ආනයනයනය සීමා කිරීමට සැරසෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ භාණ්ඩාගාරය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ කිරිපිටි සමාගම් කිහිපයක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කරගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

එසේම කිරිපිටි ආනයනය කිරීම, අලුතෙන් ඇනවුම් කිරීම සහ දැනට තිබෙන තොග නැවැත්වීමට කටයුතු කරන බවට කිරිපිටි ආනයනකරුවෝ අනතුරු අඟවා තිබේ.

කිරිපිටි සමාගම් වර්තමානයේදී මසකට රුපියල් මිලියන 30ත් 40ත් අතර පාඩුවක් ලබන බවත් කිරිපිටි මිල ගණන් රුපියල් 100කින් වැඩි කිරීමට රජය අවසර ලබා නොදෙන්නේ නම් ව්‍යාපාර කටයුතු නැවැත්වීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඔවුහු මීට පෙරද අනතුරු අඟවා තිබුණි.

කිරිපිටි අපනයන සමාගම් සඳහන් කර තිබුනේ රුපියල අවප්‍රමාණය වීම, රුපියල් 15ක තීරු බද්ද, සියයට 15ක එකතු කළ අගය මත බද්ද (වැට්), සියයට 7.5ක වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද, කිලෝවකට පනවන ජාතිය ගොඩනැගීමේ බද්ද රුපියල් 135 සිට 170ක් දක්වා වැඩි කිරීම යනාදිය ද ඇතුළුව සියලු බදු වැඩි වීම් හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීමේ පිරිවැය වැඩි වී ඇති බවයි.ඊට අමතරව ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව ඔවුන් පවසයි.

ලංකාව තුළ දියර කිරි පරිභෝජනය පවතින්නේ ඉතාමත් අවම මට්ටමකයි. දියර කිරි නිෂ්පාදනය වැඩිකිරීම සඳහා රජයේ නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම ඒ සඳහා හේතුව වී තිබේ. මෙම හේතු නිසා ලංකාවේ බොහෝ දෙනෙක් පරිභෝජනය කරනු ලබන්නේ කිරි පිටියි. කිරි පිටි වෙනුවට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය කිසිදු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකරන්නේ කිරි පිටි සමාගම්වලින්, කිරි පිටි ආනයනකරුවන්ගෙන් ලැබෙන අති විශාල බදු මුදල් නිසා විය යුතුය.

Sithara Sajeewani :