මේ වසරේත් දිවයින පුරා මැලේරියා රෝගීන් 52ක් හමුවේ!

මැලේරියා රෝගය තුරන් කළ බවට පැවති ගණන් බැලීම් නැවත සළකා බලන්නට බලකරමින් දිවයිනේ ප්‍රෙද්ශ ගණනාවකින් මැලේරියා රෝගින් හමුවන තත්වයක් මතුව තිබෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.
මේ වනවිට විදේශ රටවලින් පැමිණෙන සංචාරකයන් නිසාත් විවිධ රටවල සේවය කිරීමට ගොස් සියරට පැමිණෙන ලාංකිකයන් නිසාත් මෙරට මැලේරියා රෝගින් සංක්‍යාව වැඩි වෙමින් තිබේ. 2017 වසරේ මෙරට මැලේරියා රෝගින් 27ක්ද මේ වසර තුළ මෙතෙක් රෝගින් 52ක්ද හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මේ අතර ගම්පහ සහ කොළඹ වැනි මේ දක්වා මැලේරියා තත්වයන් නොපැවති ප්‍රෙද්ශවල රෝගින් හමුවන්නේ විදේශ රටවලින් රෝගකාරක ආසාදනය වී පැමිණෙන්නන්ට බව වසංගත රෝග මර්දන ඒකකය පෙන්වා දෙයි. ඉන්දියාව, පාකිස්ථානය, චීනය වැනි රටවලට යන ලාංකිකයන්ට මැලේරියාව වැළදීමේ අවදානමක් ඇත. මීට අමතරව මෙරටට පැමිණි මැලේරියා වාහකයන්, සුඩානය ඇතුලු අප්‍රිකානු රටවල්වල සිට පැමිණි බව අනාවරනය වී ඇත.
2015 සැප්තැම්බර් 5 වැනිදා ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නිවේදනය කෙරුණද එම තත්වය මේ වනවිට ආපස්සට ගමන් කරමින් තිබේ. මෙරට එසේ මැලේරියාවෙන් නිදහස් රටක් බවට ප්‍රකාශයට පත් කළේ දිගුකාලීන ප්‍රයත්නයක් හරහා ගෙන ගිය සෞඛ්‍ය හා ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙනි. 2012 ඔක්තෝබර් මාසයේ සිට 2016 වසර දක්වා ශ්‍රී ලංකාව තුලදී මැලේරියා රෝගින් කිසිවකු වාර්තා නොවීම විශේෂ තත්වයක් විය. ලෝක ‍සෞඛ්‍ය සංවිධාන නිර්ණායක අනුව, එක දිගට මාස 36ක් මැලේරියා රෝගින් වාර්තා නොවන රටකට මැලේරියාවෙන් තොර රටක් බව නිගමනය කළ හැකිය. ඒ අනුව 2016 අප්‍රේල් මසදී ලෝක ‍සෞඛ්‍ය සංවිධානයෙන් නිල ඉල්ලීමක් කිරීමෙන් පසුව මැලෙරියාවෙන් තොර රටක් බවට ඉහත කී සහතිකය ලංකාවට හිමි විය.
කෙසේවෙතත් ලෝක ජනගහණයෙන් හරි අඩකට ආසන්න ගණනක් සහ දකුණු ආසියාවේ බිලියන 1.3ක මිනිසුන් ප්‍රමාණයක් මැලේරියාව වැළඳීමේ අවදානම ඇති කලාපවල අදටත් ජීවත් වෙති. 2015 අවුරුද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ සමීක්ෂණයකට අනුව මේ වන විට ලෝකය පුරා මැලේරියා රෝගීන් මිලියන 214ක් ඉන්නා බව ගණනය කර ඇත.. මැලේරියා රෝගය නිසා පසුගිය වසරේදී ලොක්ය පුරා මිනිසුන් 438,000කට ජීවිතය අහිමි විය.
ලංකාවේ වාර්තාවන බිහිසුණුම මැලේරියා වසංගතය පැවතියේ 1934-35 වසරවලය. එම වර්ෂවලදී මැලේරියා රෝගීන් මිලියන 1.5ක ප්‍රමාණයක් අතරින් 80,000කට වඩා පිරිසක්ගේ මරණයට පත්වූ බව සෞඛ්‍ය පිළිබද අතීත වාර්තා හෙළි කරයි. 1935දී ලංකාවේ සමස්ජත ජනගහණය මිලියන 6කට අඩු බව වාර්තා විය. ඒ අනුව රටේ ජනතාවගෙන් හතරෙන් එක් පංගුවකට මැලේරියාව වැළදුන් බව සිතිය හැකිය.

මැලේරියාව නිසා ලෝකය පුරා සිදු වෙන ජීවිත අහිමි වීම් වළක්වා ගන්න ගෝලීය මට්ටමෙන් වැඩසටහනක් ආරම්භ වුණේ 1960 ගණන් වලදී. ශ්‍රී ලංකාවත් මේ වැඩසටහනේ කොටස්කරුවෙක් විදිහට 1963 දී පවා මැලේරියාව මුළුමනින්ම වාගේ තුරන් කරන්නට සමත් වුණා. 1953 අවුරුද්දේ වාර්තා වුණු රෝගීන් 91,990ට සාපේක්ෂව 1963 වන විට වාර්තා වුණේ රෝගීන් 17ක් පමණයි. නමුත් අවාසනාවකට වගේ මේ තත්වය පවත්වාගෙන යන්න පුළුවන් වුණේ නැහැ. විවිධ හේතූන් නිසා රට පුරාම ආයෙත් මැලේරියා රෝගීන් ගණන වැඩි වෙන්න ගත්තා.
ඇතැම් කාලවල මැලේරියාව ලංකාව පුරාම ව්‍යාප්ත වූ අතර 1968-1970, 1974-1976, 1986-1988 වගේම 1991-1993 වගේ කාලවල ලංකාව තුල මැලේරියා රෝගය වසංගත මට්ටමටම පත් ව තිබුණි. මෑත භාගයේ මැලේරියාව දරුණුවටම පැතිරුණු 1987 වර්ෂයේ ලංකාවේ මැලේරියා රෝගීන් 687,599ක් වාර්තා වී තිබේ. එසේම 1991 – 2001 කාලයේ පැතිරිලා ගිය මැලේරියා වසංගත තත්වයේ උච්චම අවධිය ලෙස සැළකෙන ‍1999 වර්ෂයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පමණක් මැලේරියා රෝගීන් 264,549ක් දක්වා වාර්තාවී තිබිණී. එවකට පැවති සිවිල් යුද්ධය නිසා අසරණ මැලේරියා රෝගීන් හඳුනා ගන්නට නිසි ප්‍රතිකාර ලබාදෙන්න හෝ මැලේරියාව පාලනය කිරීම කාර්යක්ෂම ලෙස කරන්නට හැකියාවක් නොලැබිණි. 1998 වසරේ මැලේරියාව නිසා මිය ගිය රෝගීන් 115 දෙනෙක් වාර්තා වුණේ මෙම පසුබිම යටතේය.

කොහොම වුණත් 1999 අවුරුද්දේ මැලේරියාව ආපසු හැරවීමේ එකමුතුව (Roll Back Malaria Partnership) වැඩසටහන මගින් ශ්‍රී ලංකා රජය නැවතත් මැලේරියාවට එරෙහිව ගත්තු ක්‍රියාමාර්ග නිසා 2000-2001 කාලයේදීම මැලේරියා රෝගීන් ගණන 68%ක් දක්වා අඩු වුණා. 2002 අවුරුද්දේ මැලේරියාව නිසා 30 දෙනෙකු මිය ගියත් ඉන් පස්සේ හැම අවුරුද්දකම මැලේරියාව නිසා සිදු වුණු මරණ ගණන 10කට වඩා අඩුයි. ශ්‍රී ලංකාව තුල අවසන් වරට මැලේරියා රෝගය නිසා මරණයක් වාර්තා වුණේ 2009 අවුරුද්දේ.
2002‍ වසරේදී‍ ලංකාවේ මැලේරියා රෝගීන් 41,411ක් වාර්තා වුණත් 2012 අවුරුද්දේ වාර්තා වුණේ 23 දෙනෙක් පමණකි. පසුගිය අවුරුදු 3-4ක කාලයේදී ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙක්ට මැලේරියාව වැළඳුනු බවට වාර්තා වී තිබුණද ඒ හැම කෙනෙකුටම විදේශයකදී රෝගය වැළඳුනු බවට තහවුරු වී ඇත.

Chandana Sirimalwatte :