එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසුව, රාජපක්ෂ-මෛත්‍රී හවුල විසින් ආණ්ඩු බලය අත්පත් කරගැනීමටත් තිබුණු අපේක්ෂා අවදානමකට ලක්ව ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.
මේ වනවිට පාර්ලිමේන්තුව නොවැම්ර්බ 16 දක්වා කල්දමා ඇත්තේ අපේක්ෂිත පාර්ලිමේන්තු බලය හිමිකර ගන්නට නොහැකි තත්වයක් උද්ගතවීම නිසා බවට දේශපාලන විශ්ලේෂකයන් අදහස් දක්වා ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කළ බවට ලිඛිතව දැනුම්දීමෙන් පසුව සදුදා(29) නව ඇමති මණ්ඩලයක් පත්කර අගහරුවාදා රැස්වන්නට නියමිතව පැවති පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට හා හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාත මන්ත්‍රිවරුන්ගේ විශ්වාසය මත ආණ්ඩුව පවත්වාගෙන යාම සැලැස්ම වී තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එදින ජනාධිපතිවරයාට සහාය පළ කරමින් ආණ්ඩුවට එක්වන්නට නියමිතව තිබුනු බව අපගේ ආරංචි මාර්ග අනාවරණය කරයි.
එසේ වුවද අගමැතිවරයා දිවුරුම්දීමෙන් පසුව කරුණු විමසා බැලීමේදී තමන් වෙත සහාය පළ කරන මන්ත්‍රිවරුන් සංඛ්‍යාව සහ මහින්ද රාජපක්ෂට සහායපළ කරන මන්ත්‍රිවරුන් සියල්ලම ගත්තද පාර්ලිමේන්තු බහුතරය ලෙස ආසන 113 නොමැති බව සැළකිල්ලට ගෙන එම බහුතරය සකස්කරගැනීමේ කාලයක් ලෙස පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරන්නට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
මේ වනවිට එ.ජ.නි.ස. මන්ත්‍රිවරු 95ට අමතරව මෛත්‍රි-මහින්ද හවුල් ආණ්ඩුවකට සහාය පළ කරන පිරිස මෙසේය. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඩග්ලස් දේවානන්දා, ලංකා කම්කරු කොංග්‍රසයේ තොණ්ඩමන්, එ.ජා.ප. මන්ත්‍රීවරුන් වන ආනන්ද අලුත්ගමගේ සහ වඩිවේල් සුරේෂ්ය. කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරන වි. රාධක්‍රිෂ්ණන් සහ එස්.අරවින්ද කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය මහින්ද රාජපක්ෂට ලබාදීමට තීරණය කර ඇත. මීට අමතරව රවි කරුණානායක හා වසන්ත සේනානායකගේ සහාය මහින්ද රාජපක්ෂට හිමිවන බවට දේශපාලන අංශවල කතාබහක් ඇතිවී තිබුණද ඒ දෙදෙනාම මේවනවිට රනිල් වික්‍රමසිංහට සහාය පළකර ඇත. රවි කරුණානායක අැතුළු එ.ජා.ප. මන්ත්‍රිවරු 20ක් මහින්ද රාජපක්ෂ වෙත සහාය පළ කරමින් එක්වන්නට නියමිත බව මහින්ද පාර්ශ්වයට සාහය පළ කළ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළද එය අසත්‍යයක් බව තහවුරු වෙමින් තිබේ. මේ නිසා ජනාධිපතිවරයාට එ.ජා.ප.යේ ලණුවක් කන්නට සිදුව ඇති බවට දේශපාලන කතාබහක් ඇතිව තිබේ. එම නිසා ආණ්ඩුවක් පිහිටුවන අපේක්ෂාවෙන් අගමැතිධුරයට දිවුරුම් දුන් හිටපු ජනාධිපතිවරයා සිය බලය පාර්ලිමේන්තුව තුළ තහවුරු කරගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවට අපගේ තොරතුරු මූලාශ්‍ර අනාවරණය කරයි.
2015 අගෝස්තු මහමැතිවරණයෙන් පසුව ඊට තරග කළ දේශපාලන පක්ෂ විසින් ලද මන්ත්‍රි ධුර මෙසේය.
| පක්ෂය | ආසන |
| එක්සත් ජාතික පෙරමුණ | 106 |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය | 95 |
| ඉලංකෙයි තමිල් අරසු කච්චි | 16 |
| ජනතා විමුක්ති පෙරමුණ | 6 |
| ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 1 |
| ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය | 1 |