යුධ අපරාධ සඳහා පොදු සමාවක් ඉල්ලා පාඨලීගෙන් කැබිනට් පත්‍රිකාවක්

බස්නාහිර සංවර්ධන සහ මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක යුධ අපරාධ චෝදනා එල්ල වූ හමුදා සාමාජිකයන්ට සහ එල්ටීටී සාමාජිකයන්ට සමාව ලබාදෙන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

මාධ්‍ය වෙත මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ වෙනත් බොහෝ පිරිස්ද යුධ අපරාධවල යෙදී ඇති තත්ත්වයක් තුළ හමුදා සාමාජිකයන්ට පමණක් යුධ අපරාධ එල්ල කිරීම සුදුසු නොවන බවයි. එසේම හමුදා සාමාජිකයන්ට යුධ අපරාධ චෝදනා එල්ල කරන්නේ නම් දැනට යලි සමාජගත වී ඇති 12000ක පමණ එල්ටීටී සාමාජිකයන්ද යුධ අපරාධ සම්බන්ධ චෝදනා එල්ල කළ හැකි බවත් දෙපාර්ශවයේම යුධ අපරාධ සිදුකළවුන් සොයමින් සිටීම පහසුවෙන් අවසන් කළ නොහැකි ක්‍රියාදාමයක් වන බැවින් ආණ්ඩුව පොදු සමාවක් ලබාදීම සුදුසු බව ඔහු පවසයි.

එසේම වන්දි ගෙවීමේදී යුද්ධයට සබන්ධව සිටි සටන්කරුවන් වෙනුවෙන් වන්දි නොගෙවිය යුතු බවද එල්ටීටී සංවිධානය යුධ අපරාධවල යෙදෙමින් මිනිසුන් 9000ක් පමණ මර දමන ලද බවද ඇමතිවරයා පවසයි.

“ලංකාව කෙරෙහි අන්තර්ජාතික අධිකෂණයන් අවශ්‍ය නැහැ. අපි අතීතයේ පාඩම් හරහා සදුමකට පැමිණිය යුතුයි. දේශපාලන නායකයන් මරාදැමීමක් හෝ ජාතීන අතර ගැටුම් ඇතිවීම දැනට පවතින්නේ නැහැ. ඒ අමිතිරිලිංගම්ව හරි යෝගේශ්වරන්ව හරි මැරුවේ හමුදාවෙන් වත් සිංහල අන්තවාදීන් වත් නෙමෙයි. ඒවා සිදුකළේ එල්ටී ටී සංවිධානය. ” පාඨලී චම්පික ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

දැනට එල්ටීටී සාමාජිකයන් බොහෝ දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩු වසර ගණනාවක් ඇදී ඇදී යනවා මිස දඬුවම් ලබාදීමක් හෝ නිදහස් කිරීමක් සිදුව නොමැත. එසේම තවත් බොහෝ දෙනෙකුට එරෙහිව මෙතෙක් චෝදනා ගොණුකර නඩු පැවරීමක් හෝ සිදුකර නැත. මෙම පිරිස යුධ අපරාධවල යෙදුනු බවට සාක්ෂි හෝ නොමැත. නමුත් යුධ අපරාධවල යෙදුණු බවට චෝදනා එල්ල වී ඇති හමුදා සාමාජිකයන්ට විරුද්ධව පැහැදිලි සාක්ෂි තිබේ. මේ අනුව මේ දෙපිරිසටම සමාව දීමට යෝජනා කිරීම යනු යුධ අපරාධ චෝදනා එල්ල වූ හමුදා සමජිකයන් නිදහස් කිරීමකි. එය සාධාරණ යෝජනාවක් නොවේ.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ඊයේ (25) ජිනිවා නගරයේදී ආරම්භ වූ අතර එය මාර්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 2015දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුලුවට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ එක්සත් ජනපද යෝජනාවට සහාය දැක්වීමට ලංකා ආණ්ඩුව තීරණය කළ අතර 2017දී එම යෝජනා ප්‍රකාරව ඉටුකළ යුතු කරුණු සම්පූර්ණ කිරීමට තවත් දෙවසරක කාලයක් ආණ්ඩුව විසින් ඉල්ලා සිටින ලදී. නමුත් මෙතෙක් එම යෝජනා ඉටුකිරීමට ආණ්ඩුව අසමත්ව සිටියි. එවැනි තත්ත්වයක් තුළ 2015 එක්සත් ජනපද යෝජනාවට දැක්වූ සහාය ඉවත්කර ගැනීමට ආණ්ඩුව සැරසෙමින් සිටින බවට මත පළවෙමින් තිබේ.

Sithara Sajeewani :