රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ තවත් නිලධාරින් හත් දෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරියකු ඇතුළු සැකකරුවන් අට දෙදෙනකු ද 27 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ උප පොලිස් පරික්ෂක විමලරත්න, උප පොලිස් පරික්ෂක විමලසිරි, සැරයන්වරුන් වන ප්‍රේමලාල්, චමින්ද, කොස්තාපල්වරුන් වන අසංක, විදානගම, පොලිස් රියදුරු ජයරත්න සහ වලස්මුල්ල අඩවි වන නිලධාරි එස්.ජේ.බී.සුවාරිස් යන සැකකරුවන් අට දෙනාය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) සවස අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරුවන් මධ්‍යම රාත්‍රීයේම මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.
මෙයට පෙර අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා, උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බීට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් යන සැකකරුවන් හත් දෙනා ද 27 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.
ඒ අනුව මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව 15කි. එම සැකකරුවන්ගෙන් 13ක් පොලිස් නිලධාරින් වන අතර දෙදෙනක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු වෙති.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද අඩවි වන නිලධාරියා පළමුවන සැකකාර පොලිස් පරික්ෂකවරයාගේ මිතුරෙක් බවත් ඔහුගේ ඉල්ලීම මත මළ සිරුරු පිළිස්සීම සඳහා කණුමුල්දෙණිය රක්ෂිතය පෙන්වා ඇත්තේ බීට්ටු නිලධාරියා විසින් බවත් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන අංශයේ සියලුම පොලිස් නිලධාරින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය කරන ලද පුද්ගලයින් දෙදෙනා පැහැර ගෙනගොස් ඝාතනය කිරිමට යොදා ගන්නා ලද වෑන් රථය ද කැබ් රථය ද මෝටර් රථය ද අත්අඩංගුවට ගෙන ඇත.