Posted on 02.19.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් රත්මලවින්න ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් දෙදෙනකුට සහ ගුරුවරයෙකුට කොවිඩ් වැළඳීමෙන් පසු නිසි පියවර නොගැනීම නිසා ප්‍රාථමික විද්‍යාලය සහ රත්මල්වින්න මහා විද්‍යාලය යන දෙකේම ගුරුවරුන් සහ සිසුන් පාසල් පැමිණීම නැවතී ඇතැයි වාර්තා වේ.
පාසලේ සිසුන් දෙනෙකුට සහ ගුරුවරයෙකුට කොවිඩ් වැළඳී තිබියදී අනෙකුත් ගුරුවරුන්ට සහ සිසුන්ට කොවිඩ් ආසාදනය වී තිබීමේ වැඩි ඉඩකඩක් පවතින නමුත් ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමට අමතරව ඒ හරහා සමාජය තුළ රෝගය බෝ වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වී තිබේ.
පළමුව රත්මල්වින්න ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකුගේ සීයා කෙනෙකුට කොවිඩ් වැළඳීමත් සමඟ එම පවුලේ මවට සහ 2සහ 5 ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන් දෙදෙනාටත් කොවිඩ් වැළඳී ඇති බව තහවුරුව තිබේ. ඊට අමතරව මෙම 5ශ්‍රේණියේ දරුවාට අමතර පන්ති පවත්වන මෙම පාසලේම ගුරුවරයෙකු සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේදී ඔහුටත් කොවිඩ් වැළඳී ඇති බව තහවුරුව ඇත. එම ගුරුවරයගේ පීසීආර් ප්‍රථිපල ලැබී ඇත්තේ දින 6ට පසුවයි.
මේ හේතුවත් සමඟ ප්‍රාථමික විද්‍යාලයේ සේවය කරන අනෙකුත් ගුරුවරුද තමන්ට පීසීආර් පරීක්ෂණ කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ඉල්ලා ඇතත් එම කාර්යාලය පවසා ඇත්තේ රෝග ලක්ෂණ නොමැති නිසා පරීක්ෂණ අවශ්‍ය නොවන බවයි. එසේම පාසල වසා දැමිය නොහැකි බවත් අවශ්‍යනම් පාසලේ පන්ති කාමරයක් පමණක් වසා දමන බව ද බවද ඔවුන් පවසා ඇත.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පසුව කතා කර පවසා ඇත්තේ විෂබීජ නාශක ලබාදිය හැකි බවත් පාසලේ දෙමාපියෙකු යොදාගෙන පාසැල විෂබීජ හරණය කරන ලෙසයි. මෙයට ගුරුවරුන් එකඟ වී නොමැති අතර පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් විෂබීජ හරණය සිදුකොට ඇත.
ප්‍රාථමික පාසලේ දරුවන් දෙදෙනකුට කොවිඩ් වැළඳී ඇතැයි අනාවරණය වීමත් සමඟ ගුරුවරු සහ සිසුන් පාසල් ඒම නවතා දමා තිබී ඇති අතර මීට දින දෙකකට පෙර ගුරුවරයෙකුටද කොවිඩ් වැළඳී ඇති බව අනාවරණය වීමත් සමඟ මහා විද්‍යාලයේ ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීමද නැවතී ඇත.
මේ අතර රජයේ ඔත්තු සේවා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට පැමිණ පාසල වසා දැමීමට හේතුව ප්‍රශ්න කරමින් පවසා ඇත්තේ එලෙස හිතුමතේ පාසල් වසා දැමීමට නොහැකි බවත් මේ පිලිබඳ පරීක්ෂණයක් සිදුකරන බවයි.
වසංගත තත්ත්වය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබියදී කිසිදු සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සැපයීමකින් තොරව පාසල් විවෘත කර ඇති අතරම කොවිඩ් වෛරස ව්‍යාප්ත වෙමින් පවතින පාසල් සම්බන්ධයෙන් පවා බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගැනීම පැහැරහරිමින් සිටින බව රත්මලවින්න විද්‍යාලයේ දරුන්වගේ දෙමව්පියන් සහ ගුරුවරුන් චෝදනා කර සිටියි.