රනිල් අගමැති ලෙස, ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙයි!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද(16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

මේ අනුව එකම පුද්ගලයා අගමැති ලෙස පස්වන වතාවටත් දිවුරුම් දෙන ලද අවස්ථාව මෙය වන අතර වැඩිම වාර ගණනක් අගමැති ධුරයට පත්වූ පුද්ගලයා බවට රනිල් වික්‍රමසිංහ පත් වේ.

ඔක්තෝබර් 26 වැනි දා ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී හා ව්‍යවස්ථා විරෝධී බව දක්වමින් එම තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇත. ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ලබන වසරේ ජනවාරි මාසයේ දී විභාගයට ගැනීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මුලින්ම අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ 1993 මැයි 07 වැනි දා ඩී බී විජේතුංග ජනාධිපතිවරයා ඉදිරියේය. පොදුජන එක්සත් පෙරමුණේ නායිකාව ලෙස මහමැතිවරණය ජය ගෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 අගෝස්තු 19 වැනි දා අගමැති ලෙස ලෙස පත් වීමත් සමඟ එම ධුර කාලය අවසන් විය.

ඉන්පසුව 2001 දෙසැම්බර් 09 වැනි දා සිට 2004 අප්‍රේල් දෙවැනි දා තෙක් දෙවැනි වරටත්  2015 ජනවාරි 8 වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් පසු 2015 ජනවාරි 9 වැනි දා සිට 2015 අගෝස්තු 21 තෙක් තුන්වන වරටත් 2015 අගෝස්තු 17 වැනි දා පැවැති මහ මැතිවරණයෙන් ජය ගෙන 4වැනි වැනි වතාවටත් අගමැති ලෙස ඔහු දිවුරුම් දුන්නේ 2015 අගෝස්තු 24 වැනි දා ය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හදිසියේම 2018 ඔක්තෝබර් 26 වැනි දා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් අගමැති ධුරයෙන් ඉවත් කරන තෙක් ඔහු එම ධුරය දරමින් කටයුතු කළේය.

 

 

Chandana Sirimalwatte :