தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
රනිල් තවමත් අගමැති ලෙස පිළිගන්නවා - බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රකාශයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල් තවමත් අගමැති ලෙස පිළිගන්නවා – බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රකාශයක්



රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් එරට කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හියුගෝ ස්වයර් ඊයේ (30) පවසා තිබුණි.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් හියුගෝ ස්වයර් ඒ බව සඳහන් කර ඇත .එහිදී හියුගෝ ස්වයර් විදේශ ලේකම්වරයාගෙන් විමසා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැති ලෙස තවදුරටත් පිළිගන්නා බවත්, එය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකදී පමණක් බවත්, එසේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව කඩිනමින් රැස් කළ යුතු බවටත් විදේශ ලේකම්වරයා විසින් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට දන්වා තිබේද යන්නයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එම කරුණු පෙන්වාදෙන බව ඊට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් පවසා තිබේ.

කතානායකවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අවධාරණය කරන බව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය ආසියානු සහ ශාන්තිකර කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඞ්ද සඳහන් කර තිබිණි.

මෙරට තුළ දේශපාලන අර්බුදය උද්ගතවූ වහාම ප්‍රධාන යුරෝපා රටවල් රනිල් වික්‍රමසිංහට සහාය පළ කර ප්‍රකාශ නිකුත්කරනු දැකගත හැකිවිය. ඒ අතරම මහින්ද රාජපක්ෂ අගමැතිවූ වහාම ඔහු හමුවීමට චීන තානාපතිවරයා ගොස් තිබුණි. මේ අනුව බටහිර රාජ්‍යන්ගේ නියෝජිතයා ලෙස රනිල් වික්‍රමසිංහත් චීනයේ නියෝජිතයා ලෙස මහින්ද රාජපක්ෂත් කටයුතු කරනු දක්නට ලැබේ. ගෝලීය බල අරගලය තුළ රනිල් වික්‍රමසිංහ බටහිර රටවලත් මහින්ද රාජපක්ෂ චීනයේත් භූ දේශපාලන න්‍යාය පත්‍රයන් මෙරට තුළ ක්‍රියාවට නැගීමේ කොන්ත්‍රාත්තුව බාර ගෙන ඇති බව මේ අනුව පැහැදිලි වේ.