Posted on 05.04.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ආදිවාසී ජනතාව වසර සිය ගණනාවක් සිය ජීවන මාර්ගය සඳහා භාවිත කළ මහියංගණය පොල්ලබැද්ද ප්‍රදේශයේ පිහිටි රඹකැන්ඔය.ව්‍යාපෘතියට අයත් අක්කර 5000ක් මහවැලි සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන විවිධ සමාගම්වලට හා ආයතනවලට ලබාදීමට ගෙන ඇති පියවර වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලාඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර ඇති පෙත්සම ලබන ජූලි 13 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ (03දා) නියෝග කර තිබේ.
එම නඩුව පෙර දින කැඳවූ අවස්ථාවේදී දැනට බඩඉරිඟු වගාව සඳහා ලබාදී ඇති භූමි ප්‍රදේශය දැක්වෙන සිතියමක් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට මහවැලි සංවර්ධන අධිකාරිය අධිකරණයට පොරොන්දු වී තිබිණි.
කෙසේ නමුත් පොරොන්දු වූ ආකාරයට එකී සිතියම සකස්කර අවසන් කිරීමට නොහැකි වූ බවට මහවැලි සංවර්ධන අධිකාරිය මෝසමක් මගින් කර තිබූ දැනුම්දීම අනුව ආදිවාසී නායකයාගේ පෙත්සම සලකා බැලීම කල් තැබීමට නියෝග කර තිබේ.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනජීවී විෂය භාර අමාත්‍ය සී. බී. රත්නායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි සංවර්ධන අධිකාරිය, වනජීවී හා වනසත්ත්ව දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා නම් කොට තිබිණි.
වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නීති විරෝධී ආකාරයෙන් පවරාගෙන මහවැලි සංවර්ධන අධිකාරිය විසින් බඩඉරිඟු වගාව සඳහා පවරාදීම නිසා වසර සිය ගණනක් පැරණි විශාල වටිනා ගස් රැසක් කපා දමා දැඩි වන විනාශයක් සිදුකර ඇති බව ද ආදිවාසි නායකයා හා පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.