මාධ්‍යවේදින්ට එරෙහිව රාජපක්ෂ රෙජීමය යටතේ සිදුකළ අපරාධ සහ කප්පම් ගැනීමට පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පරික්ෂණ මෙහෙයවමින් සිටින පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මාරු කර යවා ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව බව දැනගන්නට ඇත.
මෙම පොලිස් පරික්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් ප්‍රධාන පෙළේ අපරාධ රැසක විමර්ශන කටයුතු සිදුකළ අතර එම විමර්ශනවලින් අනාවරණය වන සාක්ෂි අනුව නඩු කටයුතු ඉදිරියට ගෙන ගියහොත් රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් මෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සමීපතම නිලධාරියකුවන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාද නීතිය හමුවේ චෝදනාවට ලක්වන්නට නියමිතය. කොළඹ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය ගැන මෙන්ම එම අපරාධයේ ප්‍රධාන සැකකරුවකුට රැකවරණ ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්නට එරහෙිව නැගෙන චෝදනා සම්බන්ධව විමර්ශන පවත්වන්නේද මෙම නිලධාරියාය. ඔහු මීගමුව සාමාන්‍ය රාජකාරි සදහා මාරුකර යැවීමට ආසන්න හේතුව ලෙස දැක්වෙනුයේ මෙම විමර්ශනයයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට අධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමද ජනාධිපතිවරයා මැදිහත්වීමෙන් වළක්වා ඇත. එසේම එම නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ආරක්ෂක කමිටුවේදී ජනාධිපතිවරයා විරෝධය පළ කළ ආකාරයද ජනමාධ්‍ය විසින් අනාවරණය කර තිබිණි.
මෙසේ රවින්ද්‍ර විජේගුණරත්න සහ නාවික හමුදාවේ සැකකරුවන් හරහා මෙම අපරාධ පිළිබද විමර්ශන රාජපක්ෂ පවුලට සම්බන්ධ අපරාධවලට පවා දිගුවන බැවින් මෙසේ එම විමර්ශන අතරමැද නවතා දැමීමට එක් පියවරක් ලෙස විමර්ශන භාර නිලධාරියා මාරුකර එකී විමර්ශන කටයුතු අකර්මණ්‍ය කිරීමකට කටයුතු කර ඇත. මේ අන්දමට රාජපක්ෂ පවුලේ අපරාධ අනාවරණය කිරීමේ අන්තයක් හදිසියේම වසා දමන්නට ජනාධිපතිවරයා මැදිහත්ව සිටින්නේ ජනාධිපතිවරණය දක්වා දිවෙන දේශපාලන ගනුදෙනුවක කොන්දේසියක් ලෙස බවට දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබේ.
පසුගිය නොවැම්බර් 5 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රෙයන් මෙතෙක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට අයත් වූ පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයට පවරාගන්නට ජනාධිපතිවරයා කටයුතු කළ අතර මින් ඉදිරියට පොලිසියට අත පෙවීම නිසා ජාතික පොලිස් කොමිසම නිශ්ඵල ආයතනයක් බවට පත්වීම වැළැක්විය නොහැකිය.