Posted on 09.17.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
නැගෙනහිර විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා යොදවා ගත් ඉදිකිරීම් සමාගම සතු රුපියල් මිලියන 94ක් වටිනා යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය පැහැර ගන්නා ලදැයි සහ ඒ භාණ්ඩ සම්බන්ධයෙන් විශ්වාසය කඩකරන ලදැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. හිස්බුල්ලා හා ඔහුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වාලච්චේන මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇති බව වාර්තා වේ.
‘ලංකා බිල්ඩර්ස් කෝපරේටිව් සොසයිටි’ නම් ඉදිකිරීම් සමාගම පසුගිය ජනවාරි මාසයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
සෞදි රජයේ ආධාරයෙන් මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකරන බවත්, එහි සභාපතිවරයා වශයෙන් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. හිස්බුල්ලාද, එහි අධ්‍යක්‍ෂවරයෙකු වශයෙන් ඔහුගේ පුත්‍රයා වන හිරාස් හිස්බුල්ලාද කටයුතු කරන බව වාර්තා වේ.
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥවරයා පවසා ඇති ආකාරයට ඉදිකිරීම් කටයුතු සිදු කරද්දී පාලනාධිකාරයෙන් කළ දැනුම් දීමට අනුව ඔවුන් හඳුනන අයෙකුගෙන් ඉදිකිරීම් සඳහා වැලි මිලදී ගැනීමට සිදු වූ බවත් අනතුරුව එහි ඉදිකළ ගොඩනැගිලිවලට ගෙවිය යුතු මුදලින් අඩක් නොගෙවා තම ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු මෙන්ම ඔහු යටතේ සේවය කළ ඉංජිනේරුවරුන් දසදෙනෙකු හා සේවකයන් 300කට අධික පිරිසක් එතැනින් පලවා හැරි බවත් පවසා තිබේ.
විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදවා ගත් ඉදිකිරීම් සමාගම සතු රුපියල් මිලියන 94කට අධික වටිනාකමකින් යුත් යන්ත්‍රෝපකරණ මෙන්ම එම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ගෙනැවිත් තිබූ වානේ කම්බි, සිමෙන්ති, ගල්, ඇතුළු අමුද්‍රව්‍ය පැහැර ගෙන ඇති බවට ඇමතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට චෝදනා එල්ල වී තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර ඇත.