(පුරා විද්‍යා ගවේශන තුළින් ප්‍රාග් ඓතිහාසික සාක්ෂි ගවේශනය කරමින් ලංකාවේ සම්මත ඉතිහාසය වෙනුවට ශාස්ත්‍රීය ගවේශනයකින් ඉතිහාසය පාදා ගැනීමට දරණ වෑයම තුළ මහාචාර්ය රාජ් සෝමදේව විශේෂ ස්ථානයක් ගනී. එහෙත් ඔහුගේ පුරා විද්‍යා කැනීම් කටයුතුවලට අදාල නීතිමය බලපත්‍ර ලබා නොදීම සම්බන්ධව පසුගිය දිනවල විවිධ අදහස් පළ විය. මහාචාර්ය සෝමදේව විසින් තම කැනීම් වාර්තා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට භාර දී නැති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර එම වාර්තා භාරදී ඇති බව මහාචාර්යවරයා පවසයි. කෙසේවුවද මෙම ගැටලුව සම්බන්ධව අදහස් දක්වමින් කැනීම්කටයුතුවලට සම්බන්ධ වූ මහාචාර්ය සෝමදේවගේ ශිෂ්‍යයකු හා පුරා විද්‍යා ක්ෂේත්‍රෙය් විද්වතකු වන කුංචන මහටෙ ආරච්චිගේ ෆේස්බුක් ලිටුවේ පළ කළ අදහස් මෙසේ උපුටා දක්වන්නේ ‘ලංකාවීව්ස්‘ පාඨක අවධානය සදහාය.)
මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ප්‍රශ්ණයක් වන රාජ් සෝමදේව මහාචාර්යවරයාගේ කැනීම් බලපත්‍රය අහෝසි කිරීමේ සිද්ධියත් සමඟ පුරා වස්තු භාර නොදීම හා කැනීම් වාරතා ලබා නොදීම යන අභූත චෝදනා මඟින් කවුරුන් හෝ එතුමා පිළිබඳ වැරදි ආකල්පයක් ලක්වාසී ජනතාව ඉදිරියේ මතු කිරීමට උත්සාහ දරමින් සිටී. එබැවින් දීර්ඝ කාලයක් එතුමාව ඉතාමත් ලඟින් ඇසුරු කරන එතුමාගේ ශීෂ්‍යයෙකු ලෙස ඔහු හා ඔහුගේ පර්යේෂණය පිළිබඳ මා දන්නා තොරතුරු ජනතාව ඉදිරියේ ප්‍රකාශ කර මෙම වැරදි ආකල්පය දුරු කිරීම මාගේ යුතුකමක් ලෙස සලකමි.
2009 වර්ෂයේ ශ්‍රී ලංකා මානව විද්‍යා සංඟමයේ (Sri Lanka Association of Anthropology) ආරම්භක ලේකම් ලෙස කටයුතු කළ මා හට එතුමා හඳුනා ගැනීමට හැකි වූයේ මානව විද්‍යා සංඟමයේ මාසික දේශණ මාලාවේ එක් දේශනයක් ලෙස පුරා විද්‍යාවේ නව සොයා ගැනීම් පිළිබඳව දේශණයක් සංවිධානය කිරීම මඟිනි. මා ඒ වන විටත් මාගේ විද්‍යා උපාධිය අවසන් කර තිබූ අතර සිවභාවික විද්‍යා විෂයකින් පෂ්චාත් උපාධියක් හැදෑරීම සඳහා ඕනවාටත් වඩා සුදුසුකම් හා ඒ පිළිබඳව ආසාවක් මා සතුව තිබිනු නමුත් රාජ් සෝමදේව මහාචාර්ය වරයාගේ උක්ත දේශණය මාගේ එම අදහස වෙනස් කරන ලදි. එම දේශණය මාගේ හැරවුම් ලක්ෂය යැයි මම සිතමි. 2011 වර්ෂයේ මම පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරා විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලොමාව හැදෑරීම ආරම්භ කලෙම්. එහිදී මාගේ ගුරුවරයෙකු ලෙස අප හට දේශණ පැවැත්වූ සෝමදේව මහතාගේ දේශණ ඉතා විශිෂ්ඨ ගණයේ දේශණ විය. කිසිම අපහසුතාවකින් තොරව එක දිගට පැය තුන හතරක් වුවත් අසාගෙන සිටිය හැකි දේශණ එතුමා විසින් පැවැත්වූ අතර ඔහු උගත් දේ සිසුන්ට දීමේ විශිෂ්ඨ හැකියාවක් ඔහු සතු විය. තවද ඊට නොදෙවෙනි ඔහුගේ ගුණ යහපත් භාවය ඔහුගේ පාණ්ඩිත්‍යය පැනවින් කියා පායි. එමෙන්ම විෂය පිළිබඳ මනා අවබෝධයක් අප හට ලබා දුන් ආචාර්ය ටී.ආර් ප්‍රේමතිලක මහතා හා රංජිත් බණ්ඩාර දිසානායක මහතාද සිහිපත් කිරීමට කැමැත්තෙමි.
2012 වර්ෂයේ අනිවාර්ය වූ ප්‍රායෝගික පුහුණුවීම් සඳහා මා තෝරාගත්තේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ කැණිමකි. බෙරගල කළුපහණවත්ත ප්‍රදේශයේ පුරාණ වැවක කැනීමක් සිදුකර එයින් නියැදි ලබා ගැනීමක් සිදු කරන ලදි. එය මා හට ඉතා අපූරු අත්දැකීමක් විය. වෙනත් ස්ථාන වල ප්‍රායෝගික පුහුණුවීම් සඳහා ගිය අනෙක් මිතුරන්ට ඔවුන්ගේ වියදම්න් ඉදුම් හිටුම් හා ආහාර පාන සපයා ගැනීමට සිදු වූ නමුත් මයාචාර්ය වරයා ඒ සියල්ලම අප හට නොමිලේ සූදානම් කර තිබින. තවද එදා සිට අද දක්වාම එය එසේමය. 2012 වර්ෂයේ සිට අද දක්වාම ඔහුගේ ශිෂ්‍යයෙකු ලෙස ඔහුගේ සියළුම කැනීම් හා ගවේෂණ සඳහා සහභාගි වීමට මා හට වාසනාව උදා විය. මුලින්ම ඔහු සිදු කළේ අපහට ඔහුගේ “දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය (Hunters in Transition)” නැමති පර්යේෂණ මාලාව පිළිබඳව මනා අවබොධයක් ලබා දීමයි. එම පර්යේෂණ මාලාව සතාමත් විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සිදු කරන අවුරුදු 15 පුරාවට පුරාවට විහිදෙන ඉතා සංකීර්ණ පර්යේෂණ කැනීම් මාලාවකින් සමන්විත ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියට පර්යේෂණ ආධාර සපයන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සහ විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය යටතේ වන ජාතික විද්‍යා පදනමයි. මෙමඟින් ලංකාවේ ප්‍රාග් ඉතිහාසයේ නොවිසදුනු ගැටළු රාසියකට පිළිතුරු සැපයීමට නියමිතයි. එමෙන්ම මේ වන විටත් ලංකා ඉතිහාසයේ සැඟවුන් රහස් විශාල ප්‍රමාණයකට පිළිතුරු සපයා ඇත.
අවුරුදු 15ක් පුරාවට විහිදෙන කැණිම් හා ගවේෂණ මාලාවකින් සමන්විත “දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය” පර්යේෂණ මාලාව ලංකාවේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ ජීවන විලාසයේ සිදු වූ සංක්‍රාන්තිය නැතහොත් ලංකාවේ නූතන මානවයාගේ පරිණාමය පිළිබඳ සියළු තතු සොයා යන්නකි. ලංකාවේ එකල පුරාවිදාඥයන්ට අනුව අපගේ නූතන මානවයා නැතහොත් අපගේ මුතුන්මිත්තන් කි.පූ. 900 දී පමණ උතුරු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූවන්ය. නමුත් එය එසේ නොවන බව සෝමදේව මහතාගේ “දඩයක්කරුවන්ගේ සංක්‍රාන්තිය” පර්යේෂණය මඟින් ප්‍රාමාණික සාධක සහිතව තහවුරැ කරමින් තිබේ. එමඟින් අපගේ දැනට තිබෙන ප්‍රධාන මත අභියෝගයට ලක් වෙමින් පවතී.
පර්යේෂණ කැනීම් බොහෙමයකින් සමන්විත මෙම ව්‍යාපෘතියේ මේ වනවිට පසුගිය අවුරැදු 6000 ක පමණ කාලය තුළ මෙරට ප්‍රාග්ඉතිහාසයේ සිදු වු වෙනස්කම් පිළිබිඹු කරන ද්‍රව්‍යමය සාක්ෂි විශාල ප්‍රමාණයක් අනාවරණය කර ඇත. පුරා වස්තු භාර නොදීම යන එම අභූත චෝදනාව නිසා එම පුරා වස්තු මොනවාද යන්න ඔබ දැනගත යුතුය. මුතු මැණික්, රත්‍රන් හෝ කිසිම මුල්‍යමය වටිනාකමක් ඇති පුරා වස්තු ඒ අතර නොමැති බව ශිෂ්‍යයන් ලෙස අපි ප්‍රත්‍යක්ෂයෙන් දනිමු. නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් එම ක්ෂේත්‍රයේ පර්යේශණ සිදු කරන කෙනෙකුට වැදගත් මිළ කල නොහැකි සතුන්ගේ ඇට කැබලි, සත්ත්ව අස්ථි මෙවලම්, ගල් පතුරු හා මෙවලම්, පිලිස්සී ගිය ශාක බීජ, ගල් හා මැටි පබලු, මෝර දත්, අඟුරු කැබලි හා පස් සාම්පල විශාල ප්‍රමාණයක් පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ක්ෂේත්‍ර පුරාවිද්‍යා ඒකකයේ නිරන්තර අධ්‍යයනය සදහා ගබඩා කර ඇත. තවද එම පුරා වස්තු වලින් ඇතැම් නියැදි වැඩිදුර පර්යේෂණ සඳහා ලංකාවේ හා පිටරට වලට යැවීමේදී පවා මහාචාර්යවරයා අදාල අවසරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් බව අපි දනිමු. 1983-84 කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ආරම්භ කළ මන්නාරම පැරණි වරායේ කැණිමේ වාර්තාව මහජනයාගේ දැන ගැනීමට පිට වුයේ 2017 වසරේදීය. ඒ කැණීම සිදු කර අවුරැදු 23 කට පසුවය. ඒත් ඒ වාර්තාව ලියා තිබෙන්නේ විදේශික විද්වතුන් කිහිපදෙනෙකු විසිනි. එහෙත් මහාචාර්ය සෝමදේව සිය කැණිම්වල වාර්තා තමන්ගේ කර්තෘත්තවයෙන් ප්‍රකාශයට පත් කිරීමට අවුරැදු 2 කට වඩා කාලය ගෙන නැති බව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුස්තකාලයට ගිය විට දැක ගත හැකිය. අධ්‍යක්ෂ ජනරාල්තුමා මාධ්‍යවලට කියන බොරැ බේගල් අසනවාට වඩා මොහොතක් එතැනට ගොස් ඒවා බැලීම මේ ගැන උනන්දු වන්නන්ට ප්‍රයෝජනවත් විය හැකිය. අපට නම් පෙනෙන්නේ වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වීදුරැ ගෙයක සිට අනුන්ට ගල් ගසන ආකාරයකි.
තමා විසින් කැණීම්වලින් ලබා ගන්නා පුරාවස්තු වැඩිදුර විශ්ලේෂණ සදහා තමා සේවය කරන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ගබඩාවේ තැන්පත් කර ඇති බවත් විශ්ලේෂණ අවසන් වූ පසු ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දෙන බව මහාචාර්යවරයා විසින් ලිඛිතව අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා තිබියදීත් (අවශ්‍ය නම් මීට අදාල ලිඛිත සාක්ෂි වුවද ඉදිරිපත් කළ හැකිය) අමූලික බොරැ මාධ්‍ය වෙත ලබා දෙමින් රටේ සිටින වෘත්තිකයින් දඩයම් කිරීමට ඔහු ගන්නා උත්සාහය ඛේදනීයය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දඩයම් කුරැමානම සපුරන්නට පුරා වස්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දුන්නේ නම් වැඩිදුර පර්යේෂණ සිදුකරන්නේ කෙසේද? පුරාවස්තු භාර ගැනීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන යටිතල පහසුකම් මොනවාද? මේ හදිසියේ ඔහුට පුරාවස්තු අවශ්‍ය ඇයි? එය මෙරට පුරාවිද්‍යාවේ පවතින වර්තමාන අර්බුදය විසදීමේ ප්‍රමුඛතාවක්ද? නිලගිරිසෑය සහ රජගල කැනීමිවලින් ලබා ගත් පුරාවස්තු මොනවාද? ඒවා දැන් තිබෙන්නේ කොතැනකද? වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නායකත්වයෙන් සිදු කළ රජගල කැණීමේ වාර්තාව කොයිබද? එය මහජනයාට දැක බලා ගත හැකිද? එම වාර්තාවත් අපක්ෂපාතී කමිටුවකට අධීක්ෂණය සදහා යොමු කරන්නේද? ඒ කමිටුවේ සාමාජකයින් කවුරැන්ද? අධ්‍යක්ෂ ජනරාල්වරයා මේවාට සත්‍ය පිළිතුරැ ලබා දිය යුතුය. කැණිමක් යනු ශල්‍යකර්මයකට සමාන ක්‍රියාවලියකි. රෝහල්වල ශල්‍යකර්මවල නිරතව සිටින්නේ ඒ ගැන පුහුණුවක් ලද වෛද්‍යවරුන්ය. රජගල වැනි මෙරට තීරණාත්මක වැදගත්කමක් තිබෙන තැනක පුරාවිද්‍යා කැණිමක් කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට තිබෙන ශාස්ත්‍රීය සුදුසුකම කුමක්ද? ඔහු පුරාවිද්‍යාවේ කැණිම් අධ්‍යයනය කළ ආයතනයක් හෝ විශ්ව විද්‍යාලයක් එතුමා මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ නම් සුදුසුය. සුදුසුකම් නැති කූට වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමට රටේ නීතියක් තිබේනම් සුදුසුකම් සපුරන්නේ නැතිව රජගල කැණීම් කළ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්අඩංගුවට ගත යුතුය. තවදුරටත් වෘත්තිකයින් දඩයම් කිරීමට ඔහු කටයුතු කරන්නේ නම් සමහර විට ජනතාව එවැනි හඩක් නගන තැනට තල්ලු වීමටද ඉඩ තිබෙන බව එතුමා වටහා ගත යුතුය. මහාචාර්ය සෝමදේව කළ කැණිම්වල වාර්තා ප්‍රකාශයට පත් කර තිබේ. ඒවා සියල්ලක්ම විශ්ලේෂණ සහිත විස්තරාත්මක වාර්තාය. ඔහු සිදු කළ කැණිම් 8 ක් ඇතුළත් වාර්තාවක් ස්විඩනයේ උප්සලා විශ්ව විද්‍යාලය මගින් එම විශ්ව විද්‍යාලයේ ප්‍රකාශනයක් ලෙස ප්‍රසිද්ධ කර තිබේ. එය මේ රටට ආඩම්බරයක් වන්නේ උෂ්ණත්වය මීණින සෙල්සියස් අංශක ක්‍රමය හදුන්වා දුන් සෙල්සියස් සහ උද්භිද හා සත්තව නාමකරණය හදුන්වා දුන් ලිනියස් යන දෙදෙනාම උප්සලා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි ලබා ගත් අය වීමත් එවැනි විශ්ව විද්‍යාලයකින් තමන්ගේ ප්‍රකාශනයක් ලෙස මහාචාර්ය සෝමදේවගේ වාර්තාව ප්‍රකාශයට පත් කිරිමත් නිසාය. පුරාවිද්‍යා සම්බන්ධයෙන් දේශිය උපාධි දෙකක් (ශාස්ත්‍රවේදී , දර්ශනපති) සහ විදේශිය උපාධියක් (දර්ශනශුරී) උපාධි ලබා සිටින දැනට ලිපිලේඛන 100 කට වඩා දේශියව හා විදේශියව පළ කර තිබෙන මහාචාර්යවරයා ලියු වාර්තා ප්‍රමිතියෙන් තොර බවට කිසිදු දිනෙක පුරාවිද්‍යාව හදාරා නැති අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කිරීම හෝ එසේ ප්‍රකාශ කරවා ගැනීමට කවුරුන් ලවා හෝ යෙදූ උපක්‍රමයේ තිබෙන දුෂ්ට චේතනාව අපට නම් හොදින් පැහැදිලිය.
උපුටාගැනීම -ෆේස්බුක්