Posted on 02.01.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
තමන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය 03 වන දිනය අද දිනත් සිදුකරන බව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. රෙගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී. එස්. එම්. චාර්ල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹනු ලැබිණි.
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රෙගු අධිකාරී සංගමය, රේගු නිළධාරීන්ගේ සංගමය, බහාළුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිෂ්කාෂණය කරන්නන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව වාර්තා වේ.
මේ ආතර රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කර විශ‍්‍රාමික නාවික නිලධාරියකු ඒ සඳහා පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය හිතවතුන්ට සහ හිතවත් සමාගම්වලට රේගු බදු සහන ලබා ගැනීමට නොහැකි වීම නිසා යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
මේ වන විටත් මුදල් ඇමැතිවරයාගේ ලේකම්වරුන් ආණ්ඩුවේ ඇමැතිවරුන් සහ ඉහළ නිලධාරීන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරියට සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයට විවිධ බලපෑම් කර බදු සහන ලබා ගැනීමට කටයුතු කර ඇතැයි කී මහ ලේකම්වරයා ඒවාට අවනත නොවීම නිසා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද පවසා තිබේ.