වැලිමඩ, ඌව පරණගම අර්තාපල් ගොවි අරගලයට ජයක් – අර්තාපල් මිලදී ගැනීම හෙට සිට !

‘වැලිමඩ සහ ඌවපරනගම එලවලු ගොවි සංවිධාන එකමුතුව‘ විසින් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවේ බලධාරින් විසින් රු.95-100 අතර මිලට දේශීය අර්තාපල් මිලයට ගැනීමට තීරණය කර ඇත.
සැප්තැම්බර් 17 වැනිදා එම ගොවි සංවිධාන නියෝජිතයන් සමග කොළඹ දී සාකච්ඡාවේදී දේශීය අර්තාපල් කිලෝ එකක් රු 90-95 අතර මිලකින් දිනකට කිලෝ ලක්ෂ දෙකක් රජය මිලදී ගන්නා බවට පොරොන්දුවක් දී තිබේ. ඒ අනුව, එහි පළමු අල තොගය හෙට(21) වැනි දින සිට මිලදීගැනීමට ක්‍රියා කරන බව සාකච්ඡාව අවසානයේදී රජයේ නියෝජිතයෝ ප්‍රකාශ කර තිබිණි.
අර්තාපල් ගොවි අරගලය ජූලි මස 23 වැනිදා ආරම්භ කෙරුණේ “අර්තාපල් ආනයනය සීමා කරනු !“ “දේශීය ගොවියාගේ අයිතීන් සුරකිනු!“ යන සටන් පාඨ ඔස්සේ පෙත්සම අත්සන් කරමිනි. වැලිමඩ, උෟවපරනගම,කැප්පෙටිපොළ, බෝගහකුබුර, හා ප්‍රදේශය පුරා අත්සන් කරන ලද පෙත්සම ජූලි 23 දින වැලිමඩ නගරයේ අත්සන් කිරීමෙන් අනතුරු ව වැලිමඩ ප්‍රාදේශීය ලේකම්වරයාට බාරදීමෙන් පසුව ප්‍රාදේශීය ලේකම්වරයා ගොවි සංවිධාන නියෝජිතයන් සමග ප්‍රශ්නය සාකච්ඡාවට ලක් කරණ ලදි.
අර්තාපල් ගොවියාගේ මිල ගැටලුවට වහා විසදුම් ලබාදෙනු! යන සටන් පාඨය ඔස්සේ සැප්තැම්බර් 04 වැනිදා වැලිමඩ, ඌවපරනගම එලවලු ගොවි සංවිධාන එකමුතුව වැලිමඩ නගරයේ පළමුවරට උද්ඝෝෂණයක් සිදුකරන ලදී.
ඉන් අනතුරුව සැප්තරම්බර් 11 වැනිදා අල ගොවියෝ වැලිමඩ නගරයේ දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. ඌවපරණගම මැදවල සිට සහ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන අසල සිට විරෝධතා පෙලපාලි දෙකකින් වැලිමඩ නගරය දක්වා පැමිණි අතර නගරය ආසන්නයේදී ඔවුන්ට හරස් කපමින් සිවකර තිබුණු පොලිස් මාර්ග බාධක පෙරලා නගරයට ඇතුළු ගොවීහු පෙව 10.30 සිට පස්වරු 5.30 දක්වා නගරයේ සියලු මාවත් අවහිර කර විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූහ.
සැප්තැම්බර් 17 වැනිදා සාකච්ඡාවකට ගොවි සංවිධාන නියෝජිතයන් කැදවන්නට බලධාරින් තීරණය කළේ ඉන්පසුවය. මේ නිසා මෙය ගොවි සංවිධාන එකමුතු වී සිය අයිතින් ඉල්ලා සිදුකළ දුෂ්කරඅරගලයකින් ලබා ගත් ජයග්‍රහණයකි.

Chandana Sirimalwatte :