Posted on 12.25.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොන්දේසි කිහිපයකට යටත්ව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදීමට කලාපීය වැවිලි සමාගම් (RPCs) එකඟතාව පළ කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කර තිබේ.
ඒ අනුව දෛනික වැටුප් ක්‍රමවේදයට අනුව වතු කම්කරුවන්ට එක් දිනක් වැඩ කිරීම සඳහා රුපියල් 1025ක් ගෙවනු ඇති බව එම පුවත් වාර්තා වේ සඳහන් වේ. ඒ අනුව මූලික වැටුප රුපියල් 700ක් ද EPF/ETF සඳහා රුපියල් 105 ක් ද, පැමිණීමේ දීමනා රුපියල් 70 ක් ද, නිෂ්පාදන දීමනා රුපියල් 75ක් සහ නෙළනු ලබන වැඩිපුර තේ දළු සඳහා දීමනා ලෙස රුපියල් 75ක් ද වශයෙන් දෛනික වැටුප ලබාදීමට එකඟ වී ඇත.
නමුත් 2014 පටන් වතු කම්කරු ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ තමන්ගේ මූලික වැටුප ලෙස 1000ක් ලබාදෙන ලෙසයි. අවසන් වරට අත්සන් කරන ලද සාමූහික ගිවිසුම මගින්ද එම ඉල්ලීම නොතකා හරිමින් වතු ජනතාවට මූලික වැටුප ලෙස ලබාදෙන ලද්දේ රුපියල් 700ක මුදලකි. ඒ අනුව වතු හාම්පුතුන්ගේ එකඟතාවයේ අමුතු යමක් සිදුවී නැත. සිදුවී ඇත්තේ වතු කම්කරුවන්ට නොලැබෙන දීමනා කිහිපයක් මූලික වැටුපට එල්ලීම හරහා 1000ක් ලබාදෙන බව පවසා ඔවුන් රැවටීමයි. අනෙක් විශේෂ කරුණ මෙහි සඳහන් කර ඇති EPF/ETF දීමනා යනු වතු කම්කරුවන්ට අනිවාර්යයෙන් ලැබිය යුතු අයිතියක් මිස වතු සමාගම්වල කරුණාව මත ලැබෙන දෙයක් නොවේ. එය වැටුප ලෙස ගණන් ගැනීම අසාධාරණයකි.
වතු කම්කරුවන්ගේ දිනක වැටුප 1000ක් කරන බව මහින්ද රාජපක්ෂ විසින් පසුගිය අයවැය කතාවේදී පොරොන්දුවක් ලබාදෙන ලදී. නමුත් දැන් ආණ්ඩුව පවසමින් සිටින්නේ 1000 ලබාදීම සම්බන්ධයෙන් තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත් එය කළ යුත්තේ වතු සමාගම් බවයි. මෙම දෙපාර්ශවයක සිදුකරමින් සිටින්නේ වතු කම්කරු ජනතාව රැවටීමයි.