Posted on 05.27.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ විරෝධතාවට දින 50ක් පිරීම වෙනුවෙන් හෙට (28) දිනයේ කැඳවා ඇති විරෝධතාවයේදී කොළඹ කොටුව නාගරික මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝග නිකුත්කර ඇත.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බවට තොරතුරු හෙළිවී ඇති බැවින් මෙම ආඥාව නිකුත් කරන ලෙස කොළඹ කොටුව පොලීසිය අද (27) අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම තහනම නිකුත් කළේය.
මෙම තහනම නිකුත් කිරීමේදී ජීවන්ත පීරිස් පියතුමා, ජෝශප් ස්ටාලින්, වසන්ත මුදලිගේ, ළහිරු වීරසේකර, එරංග ගුණසේකර, රංගන ලක්මාල් යන අය පුද්ගලයන් වශයෙන් නම්කර තිබුණි.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වන වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද මෙම නියෝගයට අනුව, කොළඹ එන් ඒ එස් වටරවුමේ සිට චෛත්‍ය පාර දක්වා කොටස, එන් ඒ එස් වටරවුමේ සිට ජනාධිපති මාවත දක්වා කොටස, සෙරමික් හන්දියේ සිට යෝක් විදීය, යෝක් වීදියේ සිට ලේඩි බැස්ටියන් මාවත දක්වා කොටස, මුදලිගේ මාවත, රෝයල් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත සහ චැතැම් වීදිය යන ස්ථානවලට ඇතුළු වීම, ගමන් කිරීම, විරෝධතා පැවැත්වීම, ගැවසීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යනාදිය තහනම් කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
කොළඹ නගරයේ පිහිටා ඇති මහ බැංකුව, බැංකු මූලස්ථාන, ලෝක වෙළෙද මධ්‍යස්ථානය, වරාය, වරාග නගරය, ශ්‍රී ලංකා රේගුව, මුදල් අමාත්‍යාංශය, පොලිස් මූලස්ථානය වැනි මර්මස්ථාන විශාල සංඛ්‍යාවක් පිහිටි ඇති බවත්, එම ස්ථානවලට ලක්ෂයකට අධික ජනතාවක් දිනපතා සේවයට පැමිණෙන බවත් කොටුව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව, මෙම උද්ඝෝෂණය හේතුවෙන් මහජනතාවට සිය දෛනික රාජකාරි සිදුකර ගැනීමට අපහසුතා මතුවී එමගින් දෛනික ජන ජීවිතය අඩාලවිය හැකි බව කොටුව පොලීසිය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
