Posted on 03.02.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොටස් වෙළෙඳපොළේ ඊයේ(2) දින වාර්තා වූ විශාල ඇදවැටීමට ප්‍රධාන වශයෙන් හේතුවූයේ සම්පත් බැංකු සමාගමේ කොටස් මිල දැවැන්ත ලෙස පහළ යාම බව කොටස් වෙළදපොල විශ්ලේෂකයෝ පවසති.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL 20 දර්ශකයේ මෙතෙක් එක් දිනකදී ඇදවැටුණු වැඩිම ඒකක ගණන ඊයේ වාර්තා විය. S&P SL 20 දර්ශකය ඒකක 110.87 කින් පහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව -3.72% කින් පහළ වැටීමකි. නිරීක්ෂකයන් පවසන ආකාරයට මෙය 2014 කොළඹ කොටස් මිල ඇදවැටීමට පසුව සිදුව ඇති ඊටත් වඩා දරුණු ඇද වැටීමකි. 2014 ඔක්තෝබර් 13 දින වාර්තා වූයේ ඒකක 95.47 ක පහළ යාමකි.
ඊයේ දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ද ඒකක 61.98 ක පහළ යාමක් වාර්තා කළ අතර ඒ අනුව දිනය අවසානයේ දී එහි අගය ඒකක 5,754.31 ක් ලෙසින් වාර්තා විය.මෙය පසුගිය වසර 5 ඇතුළත සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ අවම අගය ලෙසින් වාර්තා වේ.
සම්පත් බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද හිමිකම් නිකුතුව මේ ඇදවැටීමට හේතු වූ බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. සම්පත් බැංකුවේ සාමාන්‍ය කොටසක මිල රු. 36.20 කින් පහළ ගිය අතර එහි අවසන් ගනුදෙනු මිල රු. 195.70 ක් ලෙසින් සටහන් විය. මෙර පෙර දිනයට වඩා 15.61% ක කඩා වැටීමකි.