Posted on 09.02.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පසුගිය අගෝස්තු 03 වන දින පාර්ලිමේන්තු වටරවුමේ දී පැවති කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණ හේතුවෙන් අත් අඩංගුවට ගනු ලැබූ සිසුජන ක්‍රියාකාරීන් පස් දෙනාට ඇප ලබා දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා එම සිරගතව සිටින අයගේ ඥාතීන් විසින් අද දින (සැප්. 02) අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
කාඩ්බෝඩ් පෙට්ටියක් ගිනිතැබීම හේතුවෙන් මාර්ගයට 179000 ක හානියක් සිදු වූ බවත්, තල්ලු කිරීම හේතුවෙන් යකඩ බැරියර්වලට 30000 ක අලාභහානි සිදු වූ බවත් බැලූ බැල්මටම ව්‍යාජ බව වටහාගත හැකි තක්සේරු වාර්තා පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එම නිශ්චිත අවස්ථාවට බන්ධනාගාරගත කර සිටින ක්‍රියාකාරීන් සම්බන්ධ වූවේද යන්න අධිකරණය ඉදිරියේ තහවුරු කිරීමට පොලීසියට සාක්ෂි ද නැති බවද ඥාතීන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත.
නඩුව කැඳවෙන දිනවල මහේස්ත්‍රාත්වරයා නොමැති වීම එනම් අගෝ.11 සහ 31 නඩුව කැඳවූ දෙදිනම මහේස්ත්‍රාත්වරයා නිවාඩු බව කාර්යාල නිලධාරීන් පවසන ලද බව මෙම ඥාතීන් පෙන්වා දෙයි.
එසේම ඔවුන් පවසන්නේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ඇප ලබාදිය හැකි සියලු දෙනාට ඇප ලබාදී නිදහස් කරන තත්ත්වයක් තිබියදී සිසුජන ක්‍රියාකාරීන් පස් දෙනෙකු ඇප නොදී දිගින් දිගටම රඳවාතබාගෙන සිටින බවයි.
තිදෙනෙකු මේ වන විටත් බන්ධනාගාරය තුළ දී වසංගතයට ගොදුරු වී ඇති අතර ඔවුන් වැලිකඩින් බදුල්ල තල්දෙනටත්, තල්දෙනින් වව්නියාවේ ඉයක්කච්චි රැඳවුම් මධ්‍යස්ථානයටත්, එතැනින් නැවත කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් වශයෙන් තැනින් තැනට මාරු කරමින් වෙහෙසට පමුණුවමින් සිටින බවද සඳහන් කරමින් සිසු ජන ක්‍රියාකාරීන්ගේ ඥාතීන් විසින් මෙම පැමිණිල්ල ගොණුකර තිබේ.