Posted on 10.22.2018 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
වොෂින්ටන් පෝස්ට් තීරු ලිපි රචක, සෞදි අරාබි ජාතික මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතනය සිදුව ඇත්තේ අත්වැරදීමක් හේතුවෙන් බව සෞදි අරාබිය ප්‍රකාශ කරයි.
ඔක්තෝබර් 2 වැනිදා ජමාල්, තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ බවට තුර්කි ආරක්ෂක අංශ අනාවරණය කළ අතර එයින් පිටව ගිය බවට සාධක හමු නොවීය. ඔක්තෝබර් 17 වැනිදා වනවිට කොන්සල් කාර්යාලය තුළ සිදු වූ සිදුවීමකින් සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි මරා දමන ලද බවට ආරක්ෂක අංශ විසින් අනාවරණය කළ බවට තුර්කි බලධාරින් පවසා ඇත. සෞදි විදේශ කටයුතු අමාත්‍ය ඇඩෙල් අල් ජුබීර්, ‘ෆොක්ස්‘ නාලිකාවට අදහස් දක්වමින් පවසා ඇත්තේ ජමාල් කෂෝගිගේ ඝාතනය ඔවුන් අතින් සිදු වූ විශාල අත්වැරදීමක් බවය. කෙසේ වෙතත් ඒ පිටුපස සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන් සිටින බවට එල්ල වූ චෝදනා ඔහු එහිදී ප්‍රතික්ෂේප කළේය.
ඔක්තෝබර් 19 වැනිදා වනතුරු සෞදි අරාබිය ජමාල් ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පැවසූ අතර ඔවුන් පැවසුවේ, ඛෂෝගි කොන්සල් කාර්යාලයෙන් නිරුපද්‍රිතව පිටව ගිය බවය. අදාළ සිදුවීම මුල් කරගෙන සෞදි අරාබියට ජාත්‍යන්තරයෙන් එල්ල වූ දැඩි පිඩනය හමුවේ ඔවුන් ජමාල් මරණයට පත් වූ බව පසුගිය සිකුරාදා පළමු වරට පිළිගත්තේය. ඔවුන් එහිදී ප්‍රකාශ කළේ, ඉස්තාන්බුල් කොන්සල් කාර්යාලයේදී සිදු වූ පොරබැදීමකින් ඔහු මරණයට පත්ව ඇති බවය.
එහෙත්, ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබි රජයේ පැහැදිලි කිරීම ගැන සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයකුද වූ එක්සත් ජනපද රැකවරණය ලද විදසේ වැසියකුගේ ඝාතනය සම්බන්ධයෙන් කෝපයෙන් අදහස් පළ කළ ට්‍රම්ප් ඒ ඝාතනය නිසා සෞදි අරාබියට ආර්ථික සම්බාධක පනවන බවටද තර්ජනය කළේය. සෞදි බලධාරින් එයට ප්‍රතිචාර ලෙස, එවැනි පියවරක් එක්සත් ජනපද ආර්ථිකයටම ස්වයංඝාතනයක් වනු ඇති බවට අතුරු ඇගවීය.
ඛෂොගි, ඔක්තෝබර් 2 වැනිදා සෞදි කොන්සල් කාර්යාලය වෙත ගොස් ඇත්තේ සිය පෙම්වතිය වූ හැටිස් සෙන්ගිස් විවාහ කර ගැනීම සඳහා අවශ්‍ය අවසර ලිපියක් ලබා ගැනීමටය. ඔහු ඒ සදහා පැමිනෙන්නට අවසරයක් ලබාගෙන ඇති නිසා ඔහු පැමිණෙන බව වේලාසන දැනගත් සෞදි බලධාරින් යම් කුමන්ත්‍රණකාරි ක්‍රියාවක් සැලසුම්කරන්නට ඇති බවට සැක පළ වී ඇත. ඔහුගේ අතෙහි වූ ඩිජිටල් දත්ත ඔරලෝසුවෙන් නිකුත්වූ තොරතුරු අනුව ඔහු මිය ගිය ආකාරය සම්බන්ධ කරුනුඅනාවරණය වෙමින් තිබේ. ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිදරව් කරන බවට තුර්කිය පවසා තිබේ.