ළමයි 39,000ක් අන්තරාදායක රැකියාවල නිරත වෙති – ආණ්ඩුවේ සමීක්ෂණ හෙළි කරයි

ලංකාවේ ළමුන් අතුරින් 43,714ක් යම් ආකාරයක ආර්ථික කටයුතුවල නිරතවන බවත් එයින් 39,007ක්ම අන්තරාදායක රැකියාවල නිරතවන බවත් ජන හා සංඛ්‍යා ලේඛන දේපාර්තමේන්තු වාර්තා හෙළි කරයි.

දසවසරකට වරක් සිදුකරන ළමුන් පිළිබද සමීක්ෂණයකදී මෙම කරුණු අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව ලංකාවේ ආර්ථික වශයෙන් වැඩියෙන්ම ක‍්‍රියාකාරී වන අවුරුදු 5 – 17 අතර වයසේ පසුවන දරුවන්ගෙන් 1%ක් ළමා ශ‍්‍රමිකයන් ලෙස හදුනාගෙන ඇත. එසේම ළමා ශ‍්‍රමිකයන්ගෙන් 58%ක්ම ප‍්‍රකාශ කර තිබෙන්නේ තමන්ට සතියකට පැය 43කට වඩා වැඩියෙන් වැඩ කිරීමට සිදුව තිබෙන බවයි. අන්තරායකාරී රැකියාවල යෙදෙන ළමුන්ගෙන් 44.8%ක් කාර්මික අංශයේද, 37.1%ක් සේවා අංශයේද 18.1%ක් කෘෂිකාර්මික අංශයේද රැකියා කරති. ළමා ශ‍්‍රමිකයන්ගෙන් 42%ක් මූලික රැකියාවල නිරත වන අතර ඉන් බහුතරය ගොඩනැගිලි ඉදි කිරීම් කම්කරුවන් ලෙස සේවය කරන බව අනාවරණය වී තිබේ.

එසේම සමීක්ෂණය හෙළිකරන කරුණු අතර ආර්ථික වශයෙන් ක‍්‍රියාකාරී දරුවන්ගෙන් 2.8%ක් වැඩ කරන අතරතුර ආපදාවට ලක්ව සිටිති. එමෙන්ම ළමා ශ‍්‍රමිකයන්ගෙන් 10%කට අධික බර ඉසිලීමට සිදුව තිබෙන අතර 6%ක් යන්ත‍්‍ර සූත‍්‍ර ක‍්‍රියාකරවමින් රැකියා කරන බව අනාවරණය වී තිබේ. ඇතැම් අවස්ථාවල ගිනිකෙළි කම්හල්, පතල් වැනි අන්තරාදායක ස්ථානවලද දරුවන් සේවය කරන බව අනාවරණය වී තිබේ.

ලංකාවේ ළමා ශ‍්‍රමය නීති විරෝධී වන අතර ළමුන් ශ‍්‍රම කටයුතුවල නිරත කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එසේ වුවද තම දරුවන් රැකියාවලට යැවීමට දෙමාපියන්ට හෝ භාරකරුවන්ට සිදුව තිබෙන්නේ ජීවත්වීමේදී ආදායම් මාර්ග අහිමිකර තිබීම නිසාය. ලෝක ළමා දිනය වෙනුවෙන් ඊයේ(1) විවිධ මට්ටමේ උත්සව පැවතියද සමාජයක් ලෙස ආමන්ත්‍රණය කළ යුතු ඇත්ත තත්වය මෙසේය. පවතින සමාජ ආර්ථික ක්‍රමය විසින් මවුපියන් හා දරුවන් ආර්ථික පීඩාවේ ගිලෙන්නට සලස්වා තිබියදී එම තත්වය පරාජය කරන තුරුම ළමුන් ශ්‍රමිකයන් ලෙස පීඩාවට පත්වීම වැළැක්විය නොහැකිය.

Chandana Sirimalwatte :