Posted on 01.07.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පරාජය කළ 1981 ධවල පත්‍රිකාව යටතේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ පොකුරු පාසල් ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද(7) ආරම්භක පියවර තැබීය.
අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මොනරාගල, සියඹලාණ්ඩුව මහා විද්‍යාලය, ජාතික පාසලක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ ‘පාසල් දහස’ වැඩසටහන යටතේ තෝරාගත් පාසල් 1000ක් සඳහා රජයේ පහසුකම් ලබා දෙන බවත් ඒ අවට පාසල්වලට එම පහසුකම් ප්‍රයෝජනයට ගන්නට හැකිවන බවත්ය. මේ ආකාරයට තෝරාගත් පාසල් පමණක් රජයේ නඩත්තුවට යොමු කරමින් සෙසු පාසල්වලට රජයේ අරමුදල් කපා හැරීමේ ක්‍රමය 1981 අධ්‍යාපන ධවල පත්‍රිකා සැලැස්ම වත්මන් ආණ්ඩුව යළි හොර රහසේම ක්‍රියාත්මක කරමින් සිටී.
මේ වන විට පාසල්වල නඩත්තුවට රජයේ අරමුදල් ලබා නොදීම නිසා මව්පියන් මත පාසල් නඩත්තු කිරීමේ බර පැටවී ඇති අතර මෙම ‘පොකුරු පාසල්’ ක්‍රමය නිසා එම තත්වය වඩාත් උග්රවීමට නියමිත බව පැහැදිලි වේ. විශේෂයෙන්ම සියයක් දෙසියක් වැනි සිසු පිරිසක් ඉගෙන ගන්නා පාසල් වැසී යාමේ තත්වයක් පවතින අතර මෙසේ වෙනත් පාසල් යටතේ යැපෙන්නට සිදුවීමෙන් තවදුරටත් ග්‍රාමීය පාසල් පවත්වා ගැනීම දුෂ්කර වනු ඇත.
දිගන් දිගටම අධ්‍යාපනයට ප්‍රතිපාදන කප්පාදු කිරීම හේතුවෙන් පාසල් අධ්‍යාපනය පමණක් නොව විශ්වවිද්‍යාල අධ්‍යාපනයද කඩා වැටෙමින් පවතින බව ශිෂ්‍ය ව්‍යාපාරය විසින් කරුණු සහිතව පෙන්වා දී ඇත. පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ පියවර හේතුවෙන් පසුගිය කාලයේ සයිටම් ආයතනය ආරම්භ කෙරුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හරහා අධ්‍යාපනය පෞද්ගලිකකරණයට මෙන්ම මිලිටරිකරණයට සූදානම් කළ නමුත් ජනතා විරෝධය නිසා හකුලාගන්නට සිදුව ඇත. එහෙත් මේ ආකාරයට පොකුරු පාසල් ක්‍රමයෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ අධ්‍යාපන අයිතින් කප්පාදු කරමින් රාජ්‍ය වගකීමෙන් නිදහස් වීමට බව පැහැදිලි වේ.