Posted on 09.18.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි මහ සභා සැසිවාරයේදී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබද සෑහීමකට පත් නොවන කණ්ඩායම් විසින් ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට අනාවැකි පළ වී තිබේ.
ලංකාවට අදාළව 2015 සැප්තැම්බර් මසදී පැවති ‘ජිනීවා මානව හිමිකම් සමුලුව‘ට එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාවට ලංකා ආණ්ඩුවද සහය දැක්වූ අතර එය ක්‍රියාත්මක කිරීම මන්දගාමී බව මෑතකදී පත් වූ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිෂල් බැචලේ කණගාටුව පළ කළාය.
ඇයගේ මේ ප්‍රතිචාරය සමග මෙවර මානව හිමිකම් සමුලුවේ දිශානතිය ලංකාවට අවාසිදායක කලාපයකට හැරවී තිබෙන බව පැහැදිලි වේ. සැප්තැම්බර් 28 වැනිදා තෙක් පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි මහ සභා සැසිවාරයේදී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක‍්‍රියාකාරි කමිටු දෙකක් විසින් ලංකාව සම්බන්ධයෙන් සැකසූ විශේෂ වාර්තා 2ක් සභාගත කිරීමට නියමිතව ඇත. එසේ ඉදිරිපත් කරන්නට නියමිත වන්නේ බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳවත් එවැනි අපරාධවලට අදාළව සාධාරණත්වය ඉටු කිරීම, වන්දි ගෙවීම් සහ ඒවැනි දේ නැවත සිදුවීම් වළක්වා ගැනීම පිළිබඳවත් සැකසු වාර්තා දෙකකි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් සහ නැවත සිදුවීම් වළක්වා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග‍්‍රීෆ් විසින් මෙරට සිදු කළ සංචාරයකින් පසුව සිය විශේෂ වාර්තාව සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමට නියමිතය. එසේම බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාකාරී කමිටුවේ නියෝජිත පිරිසක් පසුගිය දෙසැම්බර් මස ලංකාවේ සංචාරයක නිරතවී ලබා ගත් තොරතුරු අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකස්කර ඇත.
එම විශේෂ වාර්තා එළඹෙන මානව හිමිකම් කවුන්සිල සැසියේදී සභාගත කිරීමෙන් පසුව සාමාජික රටවල් ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් සමාලෝචනයක යෙදීමට අපේක්ෂිත බව මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරිය ප්‍රකාශ කළාය. 2009 වර්ෂයේදී එවකට ජනාධිපතිවරයා විසින් ලංකා ආණ්ඩුව වෙන්වෙන් අත්සන් කළ එකගතා ප‍්‍රකාශය අනුව ලංකාවේ මානව හිමිකම් ප‍්‍රගතිය මන්දගාමී ලෙස සිදුව ඇති බවට පසුගිය කාලය පුරාම විවිධ දේශීය හා බාහිර නිරීක්ෂකයන් විසින් කරුණු සහිතව පෙන්වා දුන් කාරණයකි. එසේ හෙයින් මෙවර මානව හිමිකම් සමුලුව ලංකාවේ පාලකයන්ට දුෂ්කර තත්වයක් ගෙන එනු ඇති බවට නිරීක්ෂකයන් අදහස් පළ කර තිබේ.