தமிழ்
English
Contact
Thursday 5th December 2019    
ලක්ෂ 23ක ජීවිත අවදානමේ හෙලන ‘ගෝඨා-බ්ලේක් මිලිටරි සහාය ගිවිසුම‘ අවලංගු කරන්න - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලක්ෂ 23ක ජීවිත අවදානමේ හෙලන ‘ගෝඨා-බ්ලේක් මිලිටරි සහාය ගිවිසුම‘ අවලංගු කරන්න – පුබුදු ජයගොඩ



ඉන්දිය සාගරයේ ඇවිලීමට ඉඩ ඇති අධිරාජ්‍යවාදී යුද්ධයක ගොදුරක් බවට පත්වන ආකාරයේ ගිවිසුමක් එක්සත් ජනපද හා ලංකාවේ බලධාරින් අතර අත්සන් කිරීමත් එය ක්‍ිරයාත්මක කිරීමත් නිසා රටටත් ජනතාවටත් විශාල ජීවිත අවදානමක් උද්ගතව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

ඊයේ(31) බත්තරමුල්ල පෙ.ස.ප. කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසිනි.

මෙම අවදානමට හේතුව වන්නේ විපක්ෂය පවසන ආකාරයේ ඊනියා අමෙරිකන් යුද කදවුරක් පිහිටුවීම නොව, රාජපක්ෂ ආණ්ඩුව විසින් එක්සත් ජනපදය සමග අත්සන් කළ මිලිටරි සහායක ගිවිසුමක් සහ එය කාලසීමාවක් නැතිව ක්‍රියාවට නැගීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගත් තීරණයත් බව පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා චෝදනා කරයි. ඔහු පළකළ අදහස් සාරාංශයක් මෙසේය.

“ජනවාරි 24 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබැස්ස අද්භූත ගුවන්යානයක් ගැන කතාබහක් ඇති වුණා. පසුව වාර්තා වුණ ආකාරයට අමෙරිකා නාවික හමුදාවට අයත් ගුවන් යානයකින් ලිපිද්‍රව්‍ය, අමතර කොටස්, යාන්ත්‍රික උපකරණ, ආහාර, ඖෂධ ආදි ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙරට ගොඩබා ඇති අතර එම භාණ්ඩ වෙනත් ගුවන්යානයකින් ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ නවතා ඇති ජෝන් සී. සටෙනිස් නමැති නාවික හමුදවේ ගුවන් යානා ගෙන යන දැවැන්ත යුද නැවකට ප්‍රවාහනය කර භාර දුන් බව සදහන් වෙනවා.

මේ ජෝන් සී. ස්ටෙනිස් කියන නෞකාව න්‍යෂ්ටික බලයෙන් යුක්ත, යුද කටයුතු සදහා සැපයුම් ලබා දෙන්නට එක්සත් ජනපද නාවික හමුදාව භාවිත කරන නෞකාවක්. එහි යුද ප්‍රහාරක යානා හා හෙලිකොප්ටර් යානා 90ක් එහි තිබෙනවා. එසේම එක්සත් ජනපද ගුවන් හා නාවික යුද භටයන් 6000ක් එහි සිටිනවා. මේ ආකාරයට යුද සැපයුම් සදහා ලංකාව ආශ්‍රිත ගුවන් යානා නැවැත්වීමට ලංකාවේ ගුවන්තොටුපළ භාවිතකරන බවක් එක්සත් ජනපද තානාපති කාර්යාලය නිල වශයෙන් නිවෙදනය කරනවා. හවායි දූපත්වල පිහිටි එක්සත් ජනපද ශාන්තිකර  යුද මෙහෙයුම් මූලස්ථානයද ඒ බව තහවුරුකර තිබෙනවා. ශනාත්කර යුද මූලස්ථානයයි කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයයි මේ සම්බන්ධ ප්‍රකාශ කරන තුරු ලංකා ආණ්ඩුව වචනයක්වත් කිව්වෙ නෑ.  මෙම එක්සත් ජනපද යුද මෙහෙයුමක් ජනවාරි 21වැනිදා සිට 29 දක්වා පැවැත්වුණු බව ප්‍රකාශ වෙනවා. මේ කාලය තුළ එක්සත් ජනපද නාවික හමුදාවට අයත් C2A Hercules වර්ගයේ ගුවන් යානයකින් සැපයුම් භාණ්ඩ ලංකාවට ගෙනත් තිබෙනවා. ඒ වගේම C 40 A ග්‍රේහවුන්ඩ් ගුවන්යානයකින් ත්‍රිකුණාමලය වරායේ පිහිටි නැවට එම භාණ්ඩ ප්‍රවාහනය කෙරුණා. ඒ නිසා මේ කාලසීමාවෙදි විශාල මිලිටරිමය භාණ්ඩ ප්‍රමාණයක් ලංකාවට අයත් ගුවන් සීමාවේ පරිහරණය කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ලංකාවෙ ඉන්න අමෙරිකානු තානාපතිනිය අලෙයිනා ටෙප්ලික්ස් කියන විදියට මේ එම මෙහෙයුමේ තුන්වැනි අදියරයි. 2018 අගෝස්තුවෙදි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ 2018 දෙසැම්බර් ත්‍රිකුණාමලයෙදි සාර්ථක භාණ්ඩ හුවමාරු කිරීමක් සිදුවුණ බව කියනවා. ඒ කියන්නෙ හොර රහසේ මෙම ක්‍රියාකාරිත්වයක් පැවතුණා. ආණ්ඩුව ලංකාවේ කිසි කෙනෙකුට ඒ බව හෙළි කළේ නෑ. තුන්වැනි අවස්ථාවෙ තමයි මේ කාරණය අනාවරණය වුණේ. අමෙරිකන් ගුවන්යානාවලින් ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ ත්‍රිකුණාමල වරායට අමෙරිකන් හමුදා භාණ්ඩ ගෙන එනවා, ඒවා ලංකාවෙ රේගුවට, ආරක්ෂක අංශවලට පරික්ෂා කරන්න ලබා දෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් විදේශ රටක භාණ්ඩ තානාපති කාර්යාලයට ගෙන එනවා නම්, ඒවා පරික්ෂා කරන්නෙ නෑ. අමෙරිකන් තානාපති කාර්යාලයට භාණ්ඩ ගෙනාව නම් කොල්ලුපිටියෙ තානාපති කාර්යාලයට ගෙන යන්න පුලුවන්. නමුත් මේ යුද කටයුතු සදහා යොදාගන්න භාණ්ඩ එවැනි කිසිදු තානාපති හිමිකමක් නැති භාණ්ඩ රේගුව දන්නෙත් නෑ ආරක්ෂක අංශ දන්නෙත් නෑ. ඒවා ලංකාවෙ එහා මෙහා ගෙන යන්න අමෙරිකානු හමුදා යානා, අමෙරිකානු භටයන් කටයුතු කරනවා.

ආණ්ඩුව මේ දක්වා මේ ගැන ජනතාවට හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න ඕන. මේ භාණ්ඩ ගෙනයාම හුවමාරුව සද්භායෙන් නීත්‍යානුකූලව සිදුකළා නම් හංගන්න දෙයක් නෑ. ලංකාවට හානිකර නොවන ගනුදෙනුවක් නම් ඇයි මේ කටයුතු රහසින් කළේ. මේ අය කියනවා අනතුරුදායක භාණ්ඩ කිසිවක් ගෙන ආවෙ නෑ කියලා. නමුත් ඉන්දියානු සාගරය තුළ එක්සත් ජනපදය හා චීනය අතර බරපතළ ගැටුමක් අප්‍රකාශිත යුද්ධයක් තියෙනවා. මේ රටවල් දෙකට ඉන්දියනු සාගරය තුළ ආර්ථික, දේශපාලන හා මිලිටරි බලය සදහා සැලසුම් තිබෙනවා. ලෝකය තුළ පවත්නා තරගයට අදාළව කලාපීය ආධිපත්‍ය සදහා ඉන්දියාව සමග එක්ව එක්සත් ජනපදය කටයුතු කරන අතර චීනය කලාපීය බලය ස්ථාපිත කරගන්න විවිධ සැලසුම් ක්‍රියාත්මක කරනවා.

නිශ්චිතව කිව්වොත් චීනය ‘එක්තීරයක්-එක් මාවතක්“ කියන වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මකවන ආර්ථික හා දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ සදහා පෙර සිටම ‘ඉන්දිය සාගරයේ මුතු පොට‘ නමින් වැඩපිළිවෙළක් චීනය විසින් ක්‍රියාත්මක කළා. ඒ අනුව ඉන්දිය සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් නම්කර තිබුණාත එකක් මියන්මාරයේ ‘ක්‍රා‘ ඇල මාර්ගය, තායිලන්තයේ සිට්වි වරාය, පාකිස්ථානයේ ග්වෙදාර් වරාය, ලංකාවෙ හම්බන්තොට වරාය සහ මාලදිවයින වශයෙන් ඔවුන් ඒ වැදගත් මර්මස්ථාන හදුනාගෙන කටයුතුකළා. ඉන්දිය සාගරයෙ නාවික හා මිලිටරි බලය සදහා එම කටයුතු චීනය විසින් ඉදිරියට ගෙන ගියා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ චීනය විසින් හම්බන්තොට වරාය ඉදිකිරීම් සදහා මැදිහත්වෙද්දි එම චීන සමාගමට තමන් හදන වරායෙ බාධාවකින් තොරව නාවික මෙහෙයුම් කිරීමේ අයිතිය ලබා දෙන කොන්දේසියක් තිබුණා. ඒ අතරෙ බලයට ආව රනිල් වික්‍රමසිංහ-මෛත්‍රිපාල සිරිසේන හවුල් ආණ්ඩුව වරායම චීනයට විකුණා දැමුවා. එයින් පස්සෙ තමයි අමෙරිකානු උප ජනාධිපති මයික් ෆෙන්ස් ප්‍රකාශ කළේ චීනය විසින් එක්සත් ජනපදයට එරෙහිව කෙරෙන යුද්ධයකදි ලංකාවෙ හම්බන්තොට වරාය එක්සත් ජනපදයට විරුද්ධ නාවික බල කදවුරක් ලෙස භාවිත වන අනතුරක් තිබෙනවා කියලා. අමෙරිකන් උප ජනාධිපති එවැනි බරපතල ප්‍රකාශක් කළාම ලංකාවෙ සාගල රත්නායක ඇමතිවරයා ඉතාම සැහැහල්ලු විදියට ‘නෑ එහෙම දෙයක් නෑ‘ කියලා අත පිහදා ගත්තා. නමුත් හම්බන්තොට විශේස ආර්ථික කලාපය, හම්බන්තොට වරාය චීනයට ලංකාවේ ස්ථාපිත වෙන්න අවස්ථාවක් බවට පත් වෙද්දි එක්සත් ජනපදය විසින් ඉන්දිය සාගර කලාපයට අදාළව තමන්ගෙ උපායමාර්ගික කටයුතු ඉදිරියට ගෙන ගියා.

එක්සත් ජනපදයෙ විදේශ උපායමාර්ගයක් නම්කරනවා ‘Pivot to Asia’ කියලා. ඒ කියන්නෙ එක්සත් ජනපදය ආසියාව දෙසට අවධානය යොමුකරන බව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව, චීනය සතුරු රාජ්‍ය වලින් වටකරන්න ක්‍රියාමාර්ග ගන්නවා, චීනය විසින් මුතුපොට ලෙස නම්කරපු මර්මසථාන තමන්ගෙ පාලනයකට ගන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ යටතෙ තමයි ඔවුන් දකුණු කොරියාව, ජපානය, වියට්නාමය, පිලිපීනය, ඕස්ට්‍රේලියාව වැනි චීනය වටා ඇති රාජ්‍ය ගණනාවක් චීනයට සතුරු රාජ්‍ය බවට පත්කරලා ඒවගේ චීනයට විරුද්ධ යුද මධ්‍යස්ථාන පිහිටුවන තත්වයක් තිබෙනවා. දැනට දකුණු කොරියාවෙ, ජපානයෙ සහ පිලිපීනයෙ එක්සත් ජනපද යුදකදවුරු පිහිටුවලා තිබෙනවා. වියට්නාමය වැනි රටවල් එක්ක යුද අභ්‍යාස පවත්වමින් එක්ව කටයුතු කරනවා. ඕස්ට්‍රේලියාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මේ ආකාරයට චීනය සතුරු රාජ්‍යවලින් වට කරනු ලබනවා. ඊට අමතරව මුතු පොට ලෙස හදුනාගත් රටවල බලය එක්සත් ජනපදයට පක්ෂපාග පාලකයන් අතට මාරු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ තමයි පහුගිය දවස්වල තායිලන්තයෙ හමුදා කුමන්ත්‍රණයක් සිදු වුණේ. ඡන්දයෙන් පත් වූ ආණ්ඩුව පෙරලා දමලා එක්සත් ජනපදයට පක්ෂපාත හමුදා ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. මියන්මාරයේ හමුදා ආණ්ඩුව චීනයට පක්ෂපාත නිසා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කියලා, අවුංසාං සුකී වගේ අය ලවා මියන්මාරයෙ බලය අත්පත් කරගන්න උත්සාහ කරනවා. පහුගිය සැප්තැම්බර් 30 මාලදිවයිනේ ජනාධිපතිවරණයෙදි චීන ගැති ජනාධිපතිවරයා පරාජය කරමින් එක්සත් ජනපදයට ගැති ජනාධිපතිවරයෙක් පත්කරනු ලැබුවා. එවැනි තත්වයක් තුළ තමයි එයින් මාසයකට පසුව ඔක්තෝබර් 26 වැනිදා ලංකාවෙ එක්සත් ජනපදයට හිතවත් ආණ්ඩුව වෙනුවට ජනාධිපතිවරයා ලවා රාජපක්ෂ පාලනයක් පිහිටුවන්න චීනය උත්සාහ කළේ. ඔක්තෝබර් 26 සිදුවීමෙදි චීන තානාති කාර්යාලය කටයුතු කළ විදිය සහ එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වපු ආකාරය අනුව ඒ බල ගැටුම අනාවරණය වෙනවා.

අප දකින විදියට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එක්සත් ජනපද යුද උපායමාර්ගයට සහාය දෙමින් ඒ වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවා. එහි එක් පියවරක් ලෙස මින් පෙර USNS Mercy කියන එක්සත් ජනපද නාවික හමුදාවේ රෝහල් නෞකාව ත්‍රිකුණාමල වරායට ආවා. ඊට අමතරව කිහිප අවස්ථාවක එක්සත් ජනපද හමුදා සමග ලංකාවෙ යුද අභ්‍යාස තුනක් ක්‍රියාත්මක වුණා. අවස්ථා 4ක් යුද අභ්‍යාස සදහා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතෙ ඉඩකඩ ලැබිලා තිබුණා. නමුත් පස්වැනි හයවැනි අවස්ථා අනාවරණය වුනේ නෑ. 7වැනි මිලිටරි භාණ්ඩ හුවමාරු කිරීම තමයි ජාත්‍යන්තර හා දේශීය මාධ්‍ය හරහා අනාවරණය වුණේ. මේ අතරෙ ඉන්දියානු යුද නැව්, සබ්මැරීන ලංකාවට ආවා. ඒ විතරක් නෙවෙයි, චීන සබ්මැරීනයකුත් ලංකාවට ආවා.

එක්සත් ජනපදයේ ශාන්තිකර යුදමෙහෙයුම් මධ්‍යස්ථානයේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් බ්‍රෙට් ල‘නර් ප්‍රකාශ කරනවා, ඉන්දිය කලාපයේ අමෙරිකානු යුද කටයුතු සදහා ලංකාව වටිනා සම්පතක් බව. එක් පැත්තකින් ත්‍රිකුණාමල වරාය ස්වභාවික ගැඹුරු වරායන් අතරින් ලෝකයෙ දෙවැනි තැන දරණවා. ඒ වගේම රෙඩාර්වලට හසු නොවී සබ්මැරීන සගවා ගැබිය හැකි ස්වභාවික පාෂාණ පිහිටි වරායක් ලෙස ත්‍රිකුණාමල වරාය ඉතාමත් වැදගත්. එහි වැදගත්කම කොච්චරද කියනවා නම්, දෙවැනි ලෝක යුද්ධය අවසන් වනවිට නැගෙනහිර කලාපයේ බ්‍රිතාන්‍ය යුද් මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ත්‍රිකුණාමල වාරය භාවිතා කෙරුණා. කටුනායක කියන්නෙ ගුවන් පථ ගණනාවක් එකතුවන කලාපීය වශයෙන් වැදගත් වානිජ ගුවන්තොටුපළක්. එවැනි ත්‍රිකුණාමල වරාය සහ කටුනායක ගුවන්තොටුපළ අමෙරිකා එක්සත් ජනපද යුද සැලැස්මක කොටසක් ලෙස දෙන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ‘ආසියාව යළි ආරක්ෂා කිරීම සදහා පළමුවැනි පනත‘ නමින් ආසියාවට එරෙහි යුද ආක්‍රමණය සහ චීනයට එරෙහි යුද සැලසුමක් ලෙස සැලකිය හැකි පනතකට දෙසැම්බර් 31වැනිදා අත්සන් කිරීමත් සමග මේ තත්වය අනාවරණය වෙනවා. චීනයට එරහිව මේ කියන යුද සැලැස්මට ට්‍රම්ප් අත්සන් කර සති තුනක් යනකොට ජනවාරි 21 වැනිදා කටුනායක ගුවන්තොටුපළට අමෙරිකන් යුද ගුවන්යානා ගොඩබස්වනවා. එම යානාවලින් ගොඩබාන ඒ භාණ්ඩ යළිත් අමෙරිකානු ගුවන්යානයකින් ත්‍රිකුණාමල වරාය ආසන්න ජාත්‍යන්තර මුහුදේ නවතා ඇති ජෝන් සී. ස්ටෙනිස් යුද නැවට ගෙනයනු ලබනවා.

මේ ක්‍රියාදාමය සිදුවෙද්දි විපක්ෂය විශේෂයෙන්ම රාජපක්ෂ කණ්ඩායම ආණ්ඩුවට විවේචන කරනවා අමෙරිකානු හමුදා කදවුරක් පිහිටුවන්න අවසර දීලා, ඒ කටයුතු මේ ක්‍රියාත්මක වෙන්නෙ කියලා. අගමැති රනිල් වික්‍රමසිංහ ඔවුන්ට පිළිතුරු දෙමින් කියනවා ලංකාවෙ අමෙරිකන් යුද කදවුරක් පිහිටුවීමේ කිසිදු සැලසුමක් නැති බව. ඊළගට මෙතන ඇත්ත කාරණය මොකක්ද කියන කාරණය අවබෝධ කරගන්න වෙනවා. ඒ තමයි, අමෙරිකාව සහ චීනය අතර ඉන්දිය සාගර කලාපයෙ සිදුවන යුද්ධයකදි අමෙරිකන් හමුදාවට සහායක සේවා සපයන ක්‍රියාදාමයකට ලංකාව සම්බන්ධ වි සිටිනවා. ඒක ගැන කියනවා වෙනුවට හමුකා කදවුරක් ගැන විරෝධය ගෙනත් එහෙම එකක් නෑ කිව්වම කතාව ඉවරයි. විපක්ෂයේ මහා විරෝධයත් අකුලා ගන්නවා. ගොඩක් විරෝධතා සටන්වලදි විපක්ෂයේ කටයුතු මෙවැනි ආකාරයක් ගන්නවා. බොරු විරෝධයක් ඇවිලුවාම ඇත්ත කාරණා යටපත් වෙනවා, විරෝධයට අදාළ කරගත් සටන් පාඨ පුස්සක් බවට පත් වුණාම සමස්ත කාරනාවෙ අදාළ ප්‍රශ්නය තිබියදී ව්‍යාජ සටන්පාඨවලට කොටුකළ විරෝධතා නිශ්පල වෙනවා.

ඒ නිසාම විපක්ෂය ගෙන එන විරෝධයෙදි ඔවුන් විසින් ප්‍රකාශ නොකරන, හංගන දෙයක් තියෙනවා. ඒ තමයි, මේ සිදුවෙන්නෙ යුද කටයුතු සදහා සැපයුම් සහායක ක්‍රියාදාමයක් බවත් ඒ සදහා ආණ්ඩුව සහ එක්ත් ජනපදය භාවිතකරන්නෙ 2007 රාජපක්ෂ ආණ්ඩුව විසින් අත්සන් කළ යුද සැපයුම් ගිවිසුමක් බව. ඒ ගිවිසුම අත්සන් කළේ ගෝඨාභය රාජපක්ෂ. 2005-2014 කාලයේ මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ එවකට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියාව භාර සහකාර ලේකම් රොබට් ඕ බ්ලේක් විසින් අත්සන්කළ රහසිගත ගිවිසුමකින් තමයි මේ මිලිටරි කටයුතුවලට සහායක සේවා සැපයීමට ආණ්ඩුව බැදී සිටින්නෙ. විපක්සයේ දේශප්‍රේමි ගෝෂකයන්ට මේ කාරණය කියන්න බැරි නිසා ඔවුන් අමෙරිකන් කදවුරක් ගැන කියලා ආණ්ඩු විරෝධයක් විතරක් මතුකරලා දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා. ඇත්ත කාරණය, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ගෝඨාභය විසින් කරන්න සූදානම් කළ දේ රනිල් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. දැන් ඔය ලොකු දේශප්‍රේමි කතා කියන අය මේක කළේ කොහොමද? 2007 මාර්තු 5 වැනිදා ලංකාවෙ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විදියට ගෝඨාභය රාජපක්ෂ මේ ගිවිසුම අත්සන් කරද්දි කවුරුවත් මේ ගැන ඇත්ත දැනගෙන හිටියෙ නෑ. පාර්ලිමේන්තුවට මේ ගිවිසුම හෙළිකරන්න කිව්වම ඒක පවා මහින්ද රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කළා. මේ වෙනතුරු ගිවිසුම මොකක්ද ඒකෙ කොන්දේසි මොනවද කියලා අපි දන්නෙ නෑ. ACSA එහමත් නැත්නම් අත්පත්කරගැනීමේ හා හරස් සේවා ගිවිසුම ලෙස තමයි මේ ගිවිසුම නම් කරන්නෙ. මේ හරහා එක්සත් ජනපදය හෝ ලංකාව සිදුකරන යුද්ධයකදි අවශ්‍ය සැපයුම් කටයුතු සදහා භූමිය, ජලය, සැපයුම්, රෝහල් පහසුකම්, යුද උපකරණ අලුත්වැඩියා කිරීම් වැනි කාර්යයන්ට දෙරටම එකග වෙනවා. ඒ කියන්නෙ ලංකාව අවට යුද්ධයකදි එක්සත් ජනපද හමුදාවලට එම සහාය දෙන්න ලංකාවට සිදු වෙනවා. ලංකාව එක්සත් ජනපදය අවට රටකට එරෙහිව කරන යුද්ධයකදි එක්සත් ජනපදය ලංකාවෙ හමුදාවලට ඒ ආකාරයේ සහාය දෙන්න බැදී ඉන්නවා.

මේ තත්වය එක්තරා විදියක කොකාගෙයි නරියගෙයි සාදය වගේ. නරියා තමන්ටයි කොකාටයි පිගන් දෙකක සුප් බෙදලා බොන කොට කොකාට පිගානෙ බොන්න බෑ. නරියා සුප් ඔක්කමෙ බොනවා. අන්න ඒ ජාතියෙ ගිවිසුමක් නිසා ලංකාව විශාල අවදානමකට පත්ව තිබෙනවා. මේ වනවිටත් යුද්ධයක අවදානමක් තිබෙනවා. අමෙරිකාව සහ චීනය ඉන්දියන් සාගරයෙ බලය ව්‍යාප්ත කිරීමේ තරගයක ඉන්නෙ. දෙගොල්ලම න්‍යෂ්ටික බලවතුන්. සෙල්ලමක් නෙවෙයි, ලංකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුණොත් මුලු රටම අතු ගෑවිලා යාමේ සම්භාවිතාවක් තිබෙනවා. සමහර විශාල න්‍යෂ්ටික පර්යේෂණාගාරවල අවදානම් සහගතභාවය නිසා පිහිටුවා ඇති ආරක්ෂිත කලාපයම ලංකාව වගේ විශාලයි.  ඒ නිසා එළඹීමට ඉඩ ඇති යුද්ධයෙදි අර උතුරෙ යුද්ධය වගේ T56, යුද්ධ ටැංකි හෝ මිසයිල පාවිච්චි කරන්න වෙන්නෙ නෑ. න්‍යෂ්ටික අවි භාවිතා වෙන්නෙ.  අර ස්වාහිලි ජනතාවගේ ජන සැහැල්ලක් තියෙනවා ‘අලි පොරයකදි වැඩියෙන්ම තැලෙන්නෙ තණකොළ“ කියලා. ඒ නිසා මිලියන 23 ජනකායකගෙ ජීවිත අනතුරට හෙළලා තියෙන්නෙ. ඒ නිසා මේ තත්වය නිසා ලංකාවට විශාල අනතුරක් ඇතිකරන එක ගැන මේ දේශප්‍රේමියො කවුරුවත් කතා කරන්නෙ නෑ. අමෙරිකන්කදවුරක් ගැන බොරු භීතිකා මවලා ඇත්ත අවදානම වසන් කරන්නෙ ඇයි? ඒ අනතුරට මූලික වුණේ මහා දේශප්‍රේමියෙක් කියන ගෝඨාභයයි මහින්ද රාාජපක්ෂ හිටපු ජනාධිපතිවරයයි. ඔවුන් ගිවිසුම අත්සන් කිරීමෙදි කාලසීමාව ලෙස වසර 10ක් දාලා පසුව කාලය දීර්ඝ කිරීමේ ඉඩක් තියාගත්තා.

වර්තමාන ආණ්ඩුව, 2017 ඒ ගිවිසුම දින නියමයක් නැතිව අත්සන් කළා. 2017 ජූනි මාසෙ 21වැනිදා රනිල් වික්‍රමසිංහ අගමැති ඒ ගැන පාර්ලිමේන්තුවට හෙළි කළා. ඔහු කිව්වෙ ගෝඨාභය සහ රොබට් ඕ බ්ලේක් අත්සන් කළ ගිවිසුම සදාකාලයට දීර්ඝ කළ බවයි. ඒ වගේම ඔහු කිව්වා දෙපාර්ශ්වයෙන් එකක් දින 180කට පෙර දැනුම්දීලා ගිවිසුමෙන් ඉවත් වෙන්න පුලුවන් කියලා.  ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා වහාම මේ ගිවිසුමෙන් ඉවත් වෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. ජනාධිපතිවරයා පාසල් ළමයි ඉස්සරහා කියනවා මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට මරණ දඩුවම දෙනවා කියලා. අපි කියනවා ජනතාව ඉස්සරහට ගිහිල්ලා, මේ ජනතාවම බිලිදෙන බිහිසුණු ගිවිසුමෙන් ඉවත්වන බව ප්‍රකාශ කරන්න. මොකද මේ ගිවිසුම නිසා ලංකාවම අනතුරට මුහුණ දෙනවා.

අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය, මේ රටේ ජනමාධ්‍යවලින් ඉල්ලනවා මේ අනතුර ගැන ජනතාව දැනුවත් කරන්න කියලා. ඒ වගේම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අනතුර පරාජය කරන්න සංවිධානය වෙමු නැගී සිටිමු කියලා.“