ඕස්ට්‍රේලියාව ඉන්දු පැසිෆික් කලාපයේ බලය පෙන්වන යුද අභ්‍යාසයක්!

එක්සත් ජනපදය හා වෙනත් අධිරාජ්‍යවාදී බලවතුන් සමග එක්ව කටයුතු කරන ඕස්ට්‍රේලියාව, ඉන්දියානු සාගරය තුළ සිය බලය උරගා බැලීමේ ප්‍රධානතම යුද අභ්‍යාසය වන ‘ඉන්දු-පැසිෆික් අභ්‍යාසය‘ ලංකාව කේන්ද්‍ර කරගනිමින් මාර්තු 23 සිට 30 දක්වා පැවැත්වේ.

ලංකා නාවික හමුදාව හා සම්බන්ධව ඕස්ට්‍රේලියානු නාවික හමුදාව මෙතෙක් පැවත්වූ විශාලතම යුද අභ්‍යාසය වන මෙය, සදහා ලංකාවේ සියලු ආරක්ෂක අංශවල සහභාගීත්වයක් සහිත බව ආරක්ෂක විශ්ලේෂකයෝ වාර්තා කළහ.

මේ දැවැන්ත යුද අභ්‍යාසය සඳහා ඕස්ට්‍රේලයානු නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා, අවි හා උපකරණ ලංකාවේ නාවික වරායන් වෙත ප්‍රවාහනය කොට ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවන්ගේ 1000ක් පමණ භටයන් ගෙන් යුතු ඒකාබද්ධ කාර්යසාධක ඛන්ඩයක් සහභාගී කරවා ඇත. ඉන්දිය සාගරයේදී උපායමාර්ගික වශයෙන් ඉතාමත් වැදගත් නාවික මධ්‍යස්ථානය වන ත්‍රිකුණාමල වරාය කේන්ද්‍රකොටගෙන සිදුකරන ඔ්‍රස්ට්‍රේලියානු නාවික අභ්‍යාසය සඳහා එරටින් Canberra, Success, Newcastle, Parramatta  යන ප්‍රධාන යුද නැව් හතරක් සහභාගි කරවා ඇත. ප්‍රහාරක හෙලිකොප්ටර් රැගත් යාත්‍රාවක් වන කැන්බරා යුද නැව, ඕස්ට්‍රලියානු නාවික හමුදාවේ විශාලතම යුද නෞකාවය. මෙම යුද අභ්‍යාසයට එක්වන යුද යාත්‍රා ත්‍රිකුණාමලය කේන්ද්‍රකරගන්නා අතර ප්‍රහාරක ගුවන් යානා හම්බන්තොට මත්තල ගුවන් තොටුපල කේන්ද්‍ර කරගෙන ගුවන්ගත වනු ඇත. ඒ අනුව, සිවිල් ගුවන් කටයුතු සදහා භාවිත කිරීමට සැලසුම්කළ මත්තල ගුවන්තොටුපළ, යුද අභ්‍යාස සදහාද භාවිත කරන්නට ලංකා ආණ්ඩුව කටයුතු කරමින් සිටි.

මේ අතර ඕස්ට්‍රේලියානු ආරක්ෂක කර්මාන්ත ඇමති ලින්ඩා රෙනොල්ඞ්ස් යුද අභ්‍යාසය පිළිබද කළ ප්‍රකාශයකට අනුව, “ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා දකුනු හා අග්නිදිගා අසියා කලාපයේ ආරක්ෂක හමුදාවන් සමග දීර්ඝ කාලීන සම්බන්ධතා පවත්වාගෙන යන අතර, ඉන්දු-පැසිෆික් අභ්‍යාසය වැනි මැදිහත්වීම් මගින් එම සම්බන්ධතා තවත් ශක්තිමත් වන” බවට අපේක්ෂා කෙරේ.

මෙම යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ එක්සත් ජනපදය විසින් භූ-දේශපාලනික උපායමාර්ගික අරමුණු අනුව, ‘ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය‘ යන තේමාවට මුවාවී ඉන්දියානු සාගර කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය ස්ථාපිතකිරීම සදහා සිදු කෙරෙන ක්‍රියාකාරිත්වයන්වල පියවරක් ලෙසය. එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදයේ සහකරු රාජ්‍යයක්වන ඕස්ට්‍රේලියාව, විවිධ අවස්ථාවල එක්සත් ජනපද ආක්‍රමණ හා මෙහෙයුම් සදහා සහයෝගය හා අනුබලය ලබා දෙන රාජ්‍යයකි. ඔස්ට්‍රේලියාව 2016 දී ප්‍රකාශයට පත් කළ “ආරක්ෂක ධවල පත්‍රිකාව” තුල ලංකාව පිළිබද සදහන්වන මෙම කරුණ එහිදී අවධානයට ලක් වේ.

“ඉන්දියානු සාගරය තුල ඉතාම වැදගත් නාවුක ගමන් මගක් අභියස ස්ථානගතව පිහිටා තිබීම, ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා ආරක්ෂක සම්බන්ධතා ගැඹුරු වීමට මූලිකව තුඩු දී ඇත” යනුවෙන් එහි සදහන් විය. චීනය විසින් ඉන්දිය සාගර කලාපය තුළ ස්ථාපිත කරන බලයට එරෙහිව ඇමරිකානු අධිරාජ්‍යවාදය මගින් කලාපය තුල සංවිධානය කරගනු ලබන මිලිටරි මෙහෙයුම් වලදී, ලංකාවේ භූ-මූලෝපායික වැදගත්කම ඔස්ට්‍රේලියාව වටහා ගෙන ඇති බව එයින් පැහැදිලිය.

ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, ජපානය හා ඉන්දියාව යන අධිරාජ්‍යවාදී රාජ්‍යයන් එක්ව සිව් සාමාජික ආරක්ෂක කතිකාව (Quadrilateral Security Dialogue) නමින්, 2007 වසරේ පිහිටුවාගන්නා ලද එකමුතුව යනු ඉන්දිය සාගර කලාපය තුල චීනයට එරෙහි බලයකි. පිහිටුවා ගත්තේ සිටය. ඉන් පසුව, විවිධ යුද අභ්‍යාස, මිලිටරි තාක්ෂන හුවමාරු කිරීම් හා හමුදා ස්ථානගත කිරීම් හරහා මෙම පෙරමුණ වඩාත් තහවුරු වී ඇත. එසේම ඇමරිකාව, හා ජපානය, ඉන්දියාව හා එක්ව දකුනු ආසියාතික කලාපය තුල “MALABAR” නමින් දැවැන්ත යුද අභ්‍යාසක් කලක සිට පවත්වන අතර, එහි මීළග පියවර අප්‍රේල් මස 2වැනිදා ආරම්භ කිරීමට නියමිතය. එ අනුව, ලංකාවේ සිදුකරන යුද අභ්‍යාසය එහි සූදානම්වීමේ අභ්‍යාසයක් ලෙස ඕස්ට්‍රේලියානු නාවික හමුාවට වැදග් වේ. ඉන් අනතුරුව ඉදිරියේදී ඉන්දියානු නාවික හමුදාව සමග “AUSINDEX ” නමින් වෙනම අභ්‍යාසයක්ද ඕස්ට්‍රේලියාව විසින් සැලසුම්කර ඇත.

මේ වනවිට ත්‍රිකුණාමලයේ යුද අභ්‍යාසයේ නියුතු කැන්බරා යුද නැව, අභ්‍යාසයට සහභාගී වන අනෙකුත් නාවික යාත්‍රා ඉන්පසුව ඉන්දුනීසියාව, සිංගප්පුරුව, මැලේසියාව, තායිලන්තය හා වියට්නාමය, වැනි මේ කලාපය තුල වොෂින්ටනයේ අනෙකුත් මූලෝපායික වැදගත් රාජ්‍යයන්හි සංචාරය කිරීමට නියමිත බව ඕස්යට්‍රේලියා නාවික හමුදාව පවසයි.

ලංකාවේ යුදඅභ්‍යාස සදහා එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් මෑතක සිට වැඩි අවධානයක් ගෙන ඇත්තේ කලාපයේ සාමය යන ව්‍යාජයකට මුවා වෙමිනි. මෙම යුද අභ්‍යාස කිසිවක සාම මුහුණුවරක් නැත. කිසිදා සැගවිය නොහැකි සත්‍යයක් වන ඉන්දියානු සාගරය මධ්‍යයේ සහ ඉන්දිය සාගරයේ පිහිටි අතිශය වැදගත් ප්‍රධානතම මුහුදු වෙලඳ මාර්ගයක පිහිටී රටක් ලෙස නිසා ලංකාව චීනයට මෙන්ම කලාපීය බලවතුන් ලෙස පෙනී සිටින, ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවලට මූලෝපායිකව වැදගත්ය. මේ නිසාම ලංකාවේ මූලෝපායික වැදගත්කම නිසා කලාපීය බලය තම ග්‍රහනයේ පවත්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලෙස සළකන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට මෙම රාජ්‍යයන් සමග එක්ව කටයුතු කිරීම අතිශයින් වැදගත්ය.

මූලාශ්‍රය – wsws

Chandana Sirimalwatte :