Posted on 03.07.2019 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සැකකරුවන් ලෙසින් හඳුනාගත් පුද්ගලයන් පොලීසිය විසින් පැය 48ක් පුරාවට රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට ලබා දී ඇති නීතිමය අවසරය තව දුරටත් දීර්ඝ කිරීමට යෝජනා කරන බව ආණ්ඩුව ප්‍රකාශ කර ඇත.
මේ අනුව තවත් වසර දෙකක් සඳහා එකී නිතීය බලපවත්වා ගත හැකිවන ලෙස මෙම යෝජානව ගෙන එන බව බන්ධනාගාර සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
අපරාධ නඩු විධි විධාන සංග්‍රහය (සංශෝධන) සහ 2013 අංක 02 දරන පනතට අනුව අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයෙකු රඳවා තබා ගත හැකි කාලය පැය 24ක් වුවත් පැය 48ක් දක්වා රඳවා තබා ගැනීමට මෙම පනත මගින් විධි විධාන සලස්වා ඇත.
කෙසේ වෙතත් පොලීසියට සිය අභිමතය පරිදි කටයුතු කිරීමට ලබා දී ඇති නිතීමය අවකාශය හේතුවෙන් චෝදනා ගොනු කිරීමකින් තොරව ඕනෑම පුද්ගලයෙකු සැකකරුවකු ලෙස හඳුන්වමින් මෙලෙස ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමට කටයුතු කල හැකි අතර ආණ්ඩුව සිය මර්දනීය උපක්‍රමයක් ලෙස මෙම නීතිය පවත්වා ගැනීමට කටයුතු කරමින් ඇත. පොලිස් අත්අඩංගුවේ සිටියදී පහරදීම් හේතුවෙන් මරණයට පත් වූ පුද්ගලයින් ගණන දිනෙන් දින වැඩිවෙමින් තිබෙන තත්වයකදී මෙවැනි නිතීයක් තවදුරටත් පවත්වා ගැනීමට කටයුතු කිරීම ආණ්ඩුවේ අවශ්‍යතාවය පැහැදිළි කරමින් තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන බවට පුරසාරම් කියමින් පසුගිය පාලන සමයේ සිදු කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී සිදුවීම් පෙන්වා බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ජනතා අයිතිවාසිකම් කොල්ලකමින් අදාළ ක්‍රියාමාර්ග එලෙසින්ම ක්‍රියාවට නංවමින් සිටින බව මෙවැනි ක්‍රියාමාර්ග හමුවේ පැහැදිළිව දක්නට ඇත.