Posted on 06.20.2022 by Sajith Saranga in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත් කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු එම ධුරය සඳහා පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම මෙහෙයුම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ බැසිල් රාජපක්ෂ වන අතර, ඔහුගේ මූලිකත්වයෙන් ඔහුට හිතවත් පොහොට්ටුවේ පිරිස් සමඟ මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ද සාකච්ඡා පවත්වා ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් දන්වයි.
මේ සම්බන්ධයෙන් පොහොට්ටුවේ පිරිස ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත හැකි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැවැති සියලු සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ විසින් පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කළ හැකි බැවින් පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගත හැකි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අගමැති ධූරයට පත් කළ යුතු බවයි. එමෙන්ම අවම වශයෙන් එතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අග්‍රාමාත්‍ය ධූරය සහ අමාත්‍ය මණ්ඩලය ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කර ඇත.
“අපි ඉල්ලන්නේ අපේ පක්ෂයට ලැබිය යුතු තැන දෙන්න කියලා. අපිට අගමැතිකම, ඇමැතිකම දෙන්න වටින්නේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය ලබාදුන් නිසයි. දැන් මිනිස්සු වෙනස් වෙලා කියලා කවුරුහරි කියනවා නම් ඒක මැතිවරණයකින් ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා මැතිවරණයක් එනතුරු අපේ පක්ෂයට නිසි තැන ලබාදෙන්න. අපේ පක්ෂයටත් හොඳ මැති ඇමැතිවරු ඉන්නවා. ඒ නිසා තමයි ජනතාව අපට බලය ලබා දුන්නේ” යැයි බැසිල් රාජපක්ෂ පවසා ඇත.