Posted on 12.26.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී මිය ගිය කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ මවකගේ මළසිරුර අද (26) රජයේ වියදමින් ලංකාවට ගෙන්වූ බව වාර්තා වේ.
අනතුරින් පසුව වසර තුනක කාලයක් එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වූ සිය මවගේ මෘත දේහය මෙරටට ගෙන්වා දෙන්නැයි අැගේ පුත්‍රයා විසින් මාධ්‍ය මගින් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව විදේශසේවා නියුක්ති කාර්යාංශය මැදිහත්වී ගෙන්වන ලද මියගිය ගෘහ සේවිකාවගේ මළසිරුර සීල් තබා තිබූ බව එන් .කේ .ඒ . ගනුෂ්ක තෙරාජ් නමැති අැගේ පුත්‍රයා පවසයි .
කැකිරාව, කිතුල්හිටියාව පදිංචිව සිටි නෙල්කා දීපානි කුමාරසිරි 2011 වසරේ සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස පිටත්ව ගිය නමුත් 2013 වසරේ මෙරටට නැවත පැමිණීමට සූදානම්ව සිටියදී ඇයට වැටුප් ලබා නොදී නිවසක සිරකර ගෙන සේවය ලබාගත් බව අනාවරණය විය. මාස ගණනාවක් යන තුරු සිය මව පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති වූ විට තමන් දැඩි වෙහෙසක් දරමින් මව සෙවීමේ කටයුතු සිදු කළ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව මව මහල් තුනකින් පහලට ඇද වැටීමෙන් පසුව එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව 2014දී තොරතුරු හෙළිදරව් කරගැනීමට හැකියාව ලැබුණු බවද පුත්‍රයා ජනමාධ්‍ය හමුවේ සඳහන් කළේය. බරපතල තත්වයේ සිටි තම මව පසුගිය නොවැම්බර් මාසයේ 13 වැනි දින මියගිය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියකු දුරකථනයෙන් තමන් වෙත දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළේය. ඉන්පසුව සිය මවගේ මෘත දේහය මෙරටට ගෙන්වාගැනීමට තමන් නැවත වරක් මාසයකට අධික කාලයක් වීදේශ සේවා නියුක්ති කාර්යාංශයට කළ ඉල්ලීම් සියල්ල අසාර්ථක වූ බව ද පුත්‍රයා හෙළිදරව් කළේය.