කොළඹ නගර සභාව විසින් නාගරික මහජන උද්‍යානවල මේ දක්වා නොමිලයේ භාවිත කිරීමට පිහිටුවා ඇති ළමා උද්‍යානවලින් මුදල් අයකිරීම සදහා එම උද්‍යින පෞද්ගලික අංශයට පැවරීමේ යෝජනාවක් සම්මත කර තිබේ.
මේ අනුව කොළඹ විහාර මහ දේවි උද්‍යානයේ සහ මට්ටක්කුලිය කාක දූපත නාගරික උද්‍යානයේ ළමා විනෝද උයන්වල පාලනය පෞද්ගලික අංශයට පවරා පැය1ක් සදහා රු. 400ක් අය කිරීමට නගර සභාව විසින් එම යෝජනා සම්මත කර තිබේ. මේ උද්‍යානවල විනෝද අවස්ථා පරිහරණයට අවසර ලබා දෙන්නේ අවුරුදු 5-10 සීමාවේ ළමුන්ට බවටද එයින් සීමා පනවනු ඇත.
මේ වනවිට සතියේ දිනවල සාමාන්‍ය වශයෙන්ද සති අන්ත හා ප්‍රසිද්ධ නිවාඩු දිනවල විශාල වශයෙන් පිරී පවතින මෙම ළමා විනෝද උයන්වලින් ලාභ ඉපයීමට සූදානම් වන්නේ බිලියන ගණනක් ආදායම් ඇතැයි පුරසාරම් කියන කොළඹ නගර සභාවය. මෑතකදී රු. 20,000කින් සිය දීමනා වැඩි කරගන්නටද මෙම නගර සභාවට නාගරික ජනතා ඡන්දයෙන් පත් වූ නියෝජිතයෝ තීරණයක් ගත්හ. එසේම කොළඹ නගර සභාවේ නගරාධිපතිනි නිල නිවස නවීකරණයට සහ එහි පවිත්‍රතා සේවයට අධික වියදමක් දරන්නට තීරණය කර ඇති බවද වාර්තා විය.
කොළඹ නගරයේ ලක්ෂ ගණනක් පහළ මට්ටමේ ආදායම් ඇති ජනතාවට සිය දරුවන් හා විවේකිව විනෝදවීමට ඇති ස්ථාන අතේ ඇගිලි ගණනටත් අඩුය. ප්‍රසිද්ධ අවකාශවල දරුවන්ට විනෝදය සදහා ඉඩකඩ සීමිතවන අතර කුඩා දරුවන්ට වෙන් කළ යුතු ස්ථාන වැඩිහිටියන්ගේද පරිභෝජනයට ගෙන ඇත. දරුවන්ටත් සාමාන්‍ය ජනයාටත් විනෝද උයන් තවදුරටත් ඉඩකඩ මදව පවතින අතර අලුතින් මහජන උද්‍යාන බිහි කළ යුතු තත්වයක් උද්ගතව ඇත. ඒ අවශ්‍යතාව නොතකා පවතින උයන්වලින් ලාභ උපයන්නට බිලියන ගනන් මහජන බදු ගිල දමන කොළඹ නගර සභාව තීරණය කර ඇත.