Posted on 04.20.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොරෝනා වසංගතය හේතුවෙන් කල්දමනු ලැබූ මහමැතිවරණය ජූනි 20 දින කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව අද(20) තීරණය කළ බව එම කොමිසමේ සභාපතිවරයා නිවේදනයකර ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තුන්දෙනකු සහභාගි වූ විශේෂ රැස්වීමකදී අද මෙම තීරණය ගෙන ඇත. හෙට දින පැවැත්වීමට නියමිත දේශපාලන පක්ෂ නියෝජිත රැස්වීමේදී මේ බව එම පක්ෂවලට දැනුම්දීමට නියමිතය.
කොරෝනා වසංගතය දරුනු තත්වයක පවතින අතර ඇඳිරි නීතිය ලිහිල් කිරීමටත් විශ්වවිද්‍යාල ඉක්මනින් ආරම්භ කිරීම හා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව වේලාසනින්ම නිවේදනය කරන ලද්දේ මහමැතිවරණයට අවශ්‍ය මානසිකත්වය ඇති කිරීමට බව දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබිණි.
කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ පවසා සිටියේ දේශපාලන පක්ෂ සියල්ලට තරග කළ හැකි තරමෙන් රටේ සාමාන්‍ය තත්වයක් ඇතිවන තුරු මැතිවරණයක් පැවැත්වීම නොකළ යුතු බවය. එහෙත් ඔහු යම් යම් බලපෑම් මත ඉක්මනින් මහමැතිවරණය පැවැත්වීමේ තීරණයක් ගැන සිය මතය ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහු ඇතුලු මැතිවරණ කොමිසම දේශපාලන බලපෑමකට හසුව ඇතැයිද දේශපාලන විවේචනයක් එල්ල විය. මාර්තු 19 වැනිදා නාමයෝජනා කැඳවීමෙන් පසුව පසුගිය කාලය පුරාම ආණ්ඩුව විසින් රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය යොදාගෙන මැතිවරණයට වාසිදායක ප්‍රචාරණයක් ගෙන ගිය අතර අද දින රාත්‍රියේ ජනාධිපතිවරයා සහ ඔහුගේ උපදේශක ලලිත් වීරතුංග එක්ව පක්ෂපාති රූපවාහිනි නාළිකා ඔස්සේ ප්‍රචාරය කරන පැයක සාකච්ඡාවක් විකාශය කරමින් මැතිවරණ ප්රචාරක කාර්ය නැවත ශක්තිමත් කර ඇත. මේ තත්වය තුළ ආණ්ඩුව ‘එක් අශ්වයකු’ දුවන තරගයක් ලෙස මහමැතිවරණය ඉදිරියට ගෙන යන බව පැහැදිලිය.
මේ සම්බන්ධ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය.