Posted on 08.17.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපතිවරණය 2020 බවට විවිධ ප්‍රචාරයන් පැවතුනද ඉදිරි වසරේ ජනවාරියේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට දේශපාලන තත්වයන් වර්ධනය වෙමින් පවතින බව දැනගන්නට තිබේ.
එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අතර පැවති එකගතා දුර්වල වෙමින් පවතින අතර විපක්ෂ කණ්ඩායම් 2020 වනවිට ජනාධිපතිවරණයක් පිළිබද ඉලක්ක සහගතව කටයුතු කරමින් සිටී. ඒකාබද්ධ විපක්ෂය ලෙස මෙම ඉලක්කය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ පිළිබද යෝජනා ගෙන එන්නේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පිරිසකි. එහෙත් මහින්ද රාජපක්ෂ සමීපයේ සිටිනවුන් ගෝඨාභය ජනාධිපතිවරණයට කැදවන්නට සූදානමක් නැත. මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයකට එන්නට නීතිමය ඉඩක් නැති නිසා ඔහු කටයුතු කරන්නේ ජනාධිපතිවරණයකට පෙර මහමැතිවරණයක් ලබාගත යුතුය යන අරමුණෙනි. ආණ්ඩුවට ජනතාවගේ විශ්වාසය අහිමිව තිබෙන බැවින් වහාම මහමැතිවරණයක් අවශ්‍ය බව පසුගිය කාලය පුරාම හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරමින් සිටියේ ජනාධිපතිවරණයක් පැමිණීමෙන් සිය හිතවත් කණ්ඩායම් බෙදී එක් එක් ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් කටයුතු කරමින් සිටින නිසාය.
එහෙත් ආණ්ඩුව දිගින් දිගටම ජනතා විරෝධයට ලක්වන නිසා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට සිය ජනප්‍රියතාව දිගු කාලීනව පහළ වැටෙමින් යන තත්වයක් ඇතිව තිබේ. එක්කෝ එ.ජා.ප. සහයෝගය ඇතිව නැවත මහින්ද විරෝධි පෙරමුණක් ලෙස ජනාධිපතිවරණයට එන්නට සිදු වේ. නැත්නම් මහින්ද රාජපක්ෂගේ පිරිසක් එකතු කරගෙන එක්සත් ජාතික පක්ෂයට එරෙහි පෙරමුණකින් අපේක්ෂකයකු විය යුතුය. කෙසේවෙතත් මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයේ සැලැසුම අනුව 2020 අපේක්ෂකයකු ජනාධිපතිවරණයට එන්නේ නම් වත්මන් ජනාධිපතිවරයාට මහත් අභියෝගයක් එල්ල වේ. මේ නිසා ජනාධිපතිවරයා සූදානම් වන්නේ 2019 ජනාධිපතිවරණය කැදවා ප්රතිවාදියකුට වැඩියෙන් අවාසිදායක කොන්දේසි ඇති පසුබිමක ජනාධිපතිවරණයට යන්නට බවට තොරතුරු අනාවරණය වී ඇත. විශේෂයෙන් ඔහුගේ උපදේශකයන්ගේ සැලසුම් අනුව, ගෝඨාභය රාජපක්ෂට අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ජනාධිපතිවරණයට පැමිණෙන්නට අවකාශ නොදී ඉක්මනින් ජනාධිපතිවරණයට යන්නට සූදානමක් පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි.