Posted on 07.23.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2019 එළඹෙන්නට නියමිත ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සහාය දෙනු ඇත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යළි බලයට පත් කිරීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි.
ඊයේ (22) නාච්චාදුවේදී අනුරාධපුර නැගෙනහිර ආසන බල මණ්ඩලයේ රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වනවිට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සදහා අගෝස්තු 7 වැනිදා දින නියම කර ඇත. ජනාධිපතිවරණයක් පැමිණිමට පෙර යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලය සම්බන්ධ සාකච්ඡාවක් ගෙන ආවද විධායක බලය අහෝසි කිරීම පිනිස පාර්ලිමේන්තුවේ සිටින කිසිදු දේශපාලන පක්ෂයකට ප්‍රමුඛතාවක් නැති නිසා මෙවැනි යෝජනාවක් නිශ්ප්‍රභා වීමේ ඉඩකඩ වැඩි බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි. ජ.වි.පෙ. මෙවැනි යෝජනාවක් ගෙන එන්නේම විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි ජනතා මතය හෑල්ලුවට ලක්කර ඉදිරි ජනාධිපතිවරනයේදී එය මෛත්‍රිපාල සිරිසේනට එල්ලවන චෝදනා පිසදා හැරීමේ කොන්ත්‍රාත්තුවක් ලෙසින් යැයිද චෝදනා එල්ල වී ඇත. ජ.වි.පෙ. සැබැවින්ම විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි නම් ඊට විරුද්ධතාවය පළ කළ හැකි හොදම ක්‍රමය පාර්ලිමේන්තුවේ ධනපති පක්ෂ සමග දියාරු එකගතා ඇති කරගැනීම නොවේ. විධායක ක්‍රමයට එරෙහි නම් ඒ සදහා ශක්තිමත් අරගලයක් කළ යුත්තේ ජනතාව ඒකරාශිකරමින්ය. එවැනි අදහසක් නැතිව හුදු යෝජනාවක් ගෙන ඒමෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදුකරන දේ වාසිදායක වන්නේ විධායක ජනාධිපතික්රමය පවත්වාගෙන යන පාර්ශ්වයටමය. වත්මන් පාලනයටත් මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී බලවේගයටත් විධායක බලය අහෝසි කිරීමේ අවංක අරමුණක් නැත. එයට එරෙහිව නැගී සිටිය හැකිවන්නේ සැබෑ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අරගල කරන වාමාංශික බලවේගවලටය.
නමුත් විධායක බලයට එරෙහි අරගලයක් වේලාසනින්ම සහ කෘත්‍රිමව සටන්පාඨයක් තුළට ගෙනැවිත් එය පාර්ලිමේන්තු ඡන්දයකින් පරාජය කිරීමෙන් ජනාධිපතිවරයාට සදාචාර බාධාවකින් තොරවම ඉදිරි ජනාධිපතිවරනයේ තරග කිරීමට මග පාදාදීමේ කොන්ත්‍රාත්තුව ජ.වි.පෙ. ඉටු කරන බව දුමින්ද දිසානායක කළ ප්‍රකාශයෙන් සනාථ වේ.