Posted on 05.25.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ අපරාධයක වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්නට
එල්ලවන මරණ තර්ජන පිළිබඳ නීති කටයුතු ඉටුකර නැත.
2008 අගෝස්තු 08 සිට සැප්තැම්බර් 17 යන කාලසීමාව තුළ කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව දිස්ත්‍රික්කවලදී පාසල් දරුවන් 5 දෙනකු ඇතුළු 11 දෙනෙකු කප්පම් ගැනීමේ පරමාර්ථයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනකුට නඩු පවරා ඇත. නීතිඥ අචලා සෙනෙවිරත්නට මෙම නඩුවට පෙනී සිටීමෙන් වළකින ලෙසත් ‘රණවිරුවන්’ සිරගත කිරීමේ කටයුතු හරහා ‘රාජ්‍ය නොවන සංවිධාන’වලින් ඩොලර් උපයා නොගන්නා ලෙසත් තර්ජනාත්මක පණිවිඩ ලැබී ඇත.
එකී අපරාධකාරී සිදුවීම් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක ඇතුළු නාවික භටයන් 14 දෙනකුට චෝදනා ඒල්ලකරන ලදී. යුද සමයේ පැහැරගෙන ගොස්, වදදී, අතුරුදහන් කරන ලද රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, ඩිලාන් මොහොමඩ්, මොහොමඩ් සජිත්, තිලකේෂ්වරම් රාමලිංගම්, තාග්‍යරාජා ප්‍රභාකරන්, සුසේයි පුල්ලේ අමලන් ලියෝන්, සුසෙයි පුල්ලේ රෝෂාන් ලියෝන්, කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීඩ්, කස්තුරි ආරච්චිලාගේ ඇන්ටනි සහ අලි අන්වර් ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින්නේ එම නීතිඥවරියයි.
මෙම සාපරාධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් සැක කෙරෙන නාවික හමුදා නිලධාරියකුටඅධිකරණයෙන් වසංවී ඉන්නට සහාය දුන් බවට චෝදනා ලබන හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න අත් අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මේ වනවිට නියෝග කර තිබේ.
කෙසේවෙතත් මෙම පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම් සම්බන්ධව වින්දිතයන් වෙනුවෙන් තමන් මුල් කාලයෙ සිටම පෙනී සිටින බවත් 2010 වසරේ පමණ සිට විවිධ ආකාරයේ මරණ තර්ජන හා අපහාස සිදු කෙරුණු බව
නීතිඥවරිය පවසන්නීය. ඉන්පසුව පසුගිය වසරක පමණ කාලයේ මෙම වින්දිතයන් වෙනුවෙන් අධිකරණ කටයුතු ඉදිරියට යමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පියවර ගනිද්දී නැවත මරණ තර්ජන හා බලපෑම් උත්සන්නවීම නිසා ඇය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතත් ඒ් සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නැත. දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපරාධමය ක්‍රියාවලියක් සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥවරියක් ලෙස ඇයගේ ජීවිත ආරක්ෂාවක් හෝ වෘත්තිය ජීවිතය වෙනුවෙන් සහායක් නොමැති තත්වයක් දක්නට ලැබේ. මේ අතර මෙම පැහැරගැනීම හා අතුරුදන් කිරීම සම්බන්ධ යුක්තිය ඉල්ලා සිටින වින්දිතයන්ගේ ඥාතීන් මෙම බිහිසුණු තර්ජනකාරී පසුබිම තුළ මාධ්‍යවේදීන් හමුවට පැමිණීමට පවා බියෙන් සිටින බව අචලා සෙනෙවිරත්න පැවසුවාය.
මෙවැනි තත්වයකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ පොලිසියෙන් අපේක්ෂිත නිල ක්‍රියාමාර්ග පවා ගෙන නොතිබීම විස්මයජනක තත්වයක්ද නොවේ. තර්ජන උත්සන්න වී ඇති නව තත්වය හමුවේ ඇය, පසුගිය දා යළිත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දීර්ඝ ඉතිහාසය තුළ යුක්තිය වෙනුවෙන් ජීවිතය කැප කළ නීතිඥවරු පවා සිටි පසුබිමක, මෙම නීතිඥවරියට සිය වෘත්තිය කරගෙන යන්නටත් අපරාධකාරී ක්‍රියාදාමයක යුක්තිය ඉටු කිරීමේදී බාධා සිදු නොවන බවට සමාජයේ මැදිහත්වීමද අවශ්‍ය බව මේ සම්බන්ධ අදහස් පළ කරන සමාජ ක්‍රියාකාරින්ගේ අදහසයි.