සංඝාධිකරණයට බලය ඉල්ලා සිටිමේ සංදේශයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලබාදීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ භික්ෂුන් වහන්සේලා තීරණය කර තිබේ.
බෞද්ධාලෝක මාවතේ විපක්ෂනා භාවනා මධ්‍යස්ථානය ඉදිරිපිටින් මෙම පා ගමන ආරම්භකරන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සඳහන් කළේය. ස්වාමීන් වහන්සේලා 200 නමකගේ පමණ සහභාගිත්වයෙන් පාගමනික් ගොස් මෙම සංදේශය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව ප්‍රකාශ කර තිබේ. මේ ආකාරයෙන් සංඝාධිකරණ ඉල්ලා සිටීමට ආසන්න හේතුව වන්නට ඇත්තේ ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරගත කිරීමය. සංඝාධිකරණයකින් එවැනි දඩවම් වෙනුවට ලිහිල් විනය දණ්ඩන නියම කරන්නට හැකිය.
පසුගියදා කලා නිර්මාණ සම්බන්ධයෙන් වාරණ ඉල්ලා සිටියේද ඕමල්පේ සෝභිත හිමි විසිනි. එම ඉල්ලීම අනුව කිසිදු නිර්මාණකරුවකුට ආගමික සංස්ථාවන්ගෙ අනුමැතිය නැතිව තම නිර්මාණ කාර්ය කළ නොහැකිය. නූතන සමාජය විසින් ලබා දී ඇති නෛතික පද්ධතිය තුළ පුද්ගල ිදහස මෙන්ම සමාජමය අයිතිවාසිකම් යම් මට්ටමක තහවුරු කර ඇති නමුත් භික්ෂුන් යෝජනා කරන ක්‍රමය තුළ ඒ නිදහස අහිමි කළ රාජ යුගයට ආපසු ගමනක් යන්නට සිදුවනු ඇත.
භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටින්නේ ආසියාතික රජ පරපුර සමග අභාවයට ගිය නෛතික ක්‍රමයක් නැවත කැදවිය යුතු බව නම්, සමස්ත සමාජයම පවතින රෝම ලන්දේසි ක්‍රමයේ පදනමින් ඉවත් විය යුතු බවය. ඒ නිසා එක්කො රෝම ලන්දේසි නීති ක්‍රමයට යටත් භික්ෂු සංස්ථාවක් පැවතිය යුතුය. නැතිනම් මුලු සමාජයම ආසියාතික පසුගාමී යුගයට පල්ලම් බැසිය යුතුව ඇත. භික්ෂු සංස්ථාවේ පවතින දූෂිත තත්වය පරාජය කරගන්නට අසමත් භික්ෂු නායකත්වයක් සංඝාධිකරණයකින් පමණක් දණ්ඩනයෙන් භික්ෂු විනය ඇතිකරන්නට යාම බුදුන් යෝජනා කළ ධර්ම විනය පද්ධතියටම පසුපස හැරවීමකි.