ධර්මසේන පතිරාජ නමැති විශිෂ්ට සිනමාකරුවා සහ වාමාංශිකයා අප අතරින් සමුගෙන තිබේ. ඒහෙත් ඔහු විසින් අප අතර තබා ගිය අසහාය කෘති අපට ඔහු කිසිදා සමුදිය නොහැකි සටන් සගයකු බවට පත් කර තිබේ.
මියයන මොහොතේද ඔහු පවතින සමාජ අගතීන්ට ඒරෙහිව සිය භෞතිකවාදී පරමාදර්ශ වෙනුවෙන් සටන් කළ ‘පති’ කලකට පෙර ඔහුගේ විශිෂ්ට සිනමා කෘතියක් වූ ‘සොද්දාදු උන්නැහේ’ සම්බන්ධව ‘ජනරළ’ පුවත්පතට අදහස් දක්වන ලදී. පතිරාජ නික්ම ගිය මේ කණගාටුදායක දිනය, ඒම ලිපියේ කියැවෙන ඔහුගේ අදහස් කියවාගැනීමට අත්‍යවශ්‍ය හේතුවක් බව අපි සිතමු.
සොල්දාදු උන්නැහේ චිත‍්‍රපටය ගැන ආවර්ජනයක්
‘‘පඩිපෙළ නැඟලා උඩම තට්ටුවට එන්න. මම දොර ඇරලා තියන්නම්.’’
ඒ අනුව, ප‍්‍රියන්තත් මමත් ටොරින්ටන් මහල් නිවාසයේ ඉහළම මාලයට ගොස් විවෘතව තිබුණු දොරටුවෙන් ඇතුළු වුණා. සරමකින් සැරසී උඩුකය නිරාවරණය වූ මැදිවියේ පසුවන ඒ ආදරණීය මිනිසා සිනාමුසු මුහුණින් අපව පිළිගත්තා. පැහැදිලිවම ඔහු සිය කලාත්මක නිර්මාණ තුළින් පමණක් නොව, ජීවන භාවිතය තුළත් කොළඹ 07 ආධිපත්‍ය සුනු විසුනු කළ අයෙක්. මහනුවර උපන් හෙතෙම පේරාදෙණිය සරසවියෙන් අධ්‍යාපනය ලබා ශිෂ්‍ය අවධියේ සිටම දේශපාලන ක‍්‍රියාකාරීත්වයට පැමිණියෙක්.
වාමාංශික දේශපාලන ක‍්‍රියාකාරීන් අතර හිඳිමින් සිය ජීවන පරමාදර්ශ සකස් කරගත් ඔහු සිනමා කලාවට පිවිසියේද දේශපාලනික කලා භාවිතයක අරමුණු සහිතවයි. එදා කලා භාවිතයට පිවිසුණු ඒ සටන්කාමී තරුණයා දැන් වයස අවුරුදු 70 ඉක්ම වූ කෙනෙක්. තවමත් සිය දේශපාලන අදහස් හෝ සටන්කාමී කලා භාවිතය අත්හැර නැති ඔහු, ධර්මසේන පතිරාජ. දන්න හඳුනන කවුරුත් ‘පතී’ කියලා ආදරයෙන් හඳුන්වන කලාකරුවා ඔහු.
මීට වසර 34කට පෙර ලංකාවේ සිනමා තිරය වෙත වෙනස්ම ආකාරයේ දර්ශන පෙළක් ගෙන එන්නට පතී සමත් වුණා. වෙනස් චරිත, වෙනස් දෙබස් සහිත ඒ වෙනස් සිනමා නිර්මාණය ලංකාවේ සිනමා වංශකතාවේ පැහැදිලි කඩඉමක් ලෙස විචාරකයන් හඳුන්වා දෙනවා.
‘සොල්දාදු උන්නැහේ’ කෘතිය තුළින් එදා පතී තැබූ ඉතිහාසගත සලකුණ පිළිබඳ ආවර්ජනයක් කරන්නට අප උත්සාහ කළා.
‘‘එච්.ඒ. සෙනෙවිරත්නගේ ‘සොල්දාදුවා’ නමැති කෙටිකතාව කියැවීමෙන් ලැබූ උත්තේජනය තමයි සොල්දාදු උන්නැහේ චිත‍්‍රපටය කරන්න මට පෙළඹවීමක් වුණේ. ඒ කෙටිකතාව මා තුළ ඇති කළ කම්පනය විසින් එහි එන චරිත සහ කතා පුවත යම් ආකාරයකට සිනමා නිර්මාණයකට උචිත බව මම හිතුවා. පස්සෙ එච්.ඒ. එක්කත් කතා කරලා වෙනම තිර පිටපතක් අපි සකස් කළා.’’
‘‘කෙටිකතාවේ ප‍්‍රබලත්වය නිසා චිත‍්‍රපටයක් කරන්න හිතුව නම්, ඒ කෙටිකතාවේ ප‍්‍රබලත්වයෙන්ම සිනමා කෘතිය ඉදිරිපත් කරන්න මොන වගේ දේවල්ද ඔබේ අවධානයට ලක් වුණේ’’ අපි එහෙම ඇහුවා.
”ඊට කලින් කරපු ‘බඹරු ඇවිත්’ චිත‍්‍රපටිය වාරණයට ගොදුරු වෙලා සෑහෙන ප‍්‍රශ්න ආවා. ඒකෙ රූපමය අවස්ථා ගණනාවක්ම ඉවත් කරන්න වාරණ මණ්ඩලය නිර්දේශ කළා. වෙන එකක් තියා මූදු වෙරළෙ දි කැස්බෑවෙක් මස් කරන දර්ශනය ඉවත් කරන්න කියලා කිව්වා. නමුත් මම ඒ ඔක්කොම අයින් කළෙත් නෑ. පස්සෙ චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනය කරන කොට ගෙදරට සී.අයි.ඞී. එකෙන් ඇවිල්ල මාව හොයල තිබුණා. පස්සෙ මට කටඋත්තරයක් දෙන්නත් වුණා. වාරණය කරපු දර්ශන ඇතුළත්ව චිත‍්‍රපටිය ප‍්‍රදර්ශණය කරන එක ගැනයි ඒ ගොල්ලන්ගෙ ප‍්‍රශ්නය තිබුණේ. වහාම ඒ වාරණය කරපු රූප ඉවත් කරන්න නැත්නම් මාව ඇරෙස්ට් කරනවා කියලා පොලිස්පති කියල තිබුණා. ඉතින් යම් යම් අවස්ථාවල කොටස් ඉවත් කරන්න සිදු වුණා”.
ඒ වනවිට ජනප‍්‍රිය සිනමාවේ රංගනය තුළින් කැපී පෙණුනු රංග ශිල්පීන් හා ශිල්පිනියන් සොල්දාදු උන්නැහේ වැනි සිනමා අත්දැකීමක් සඳහා යොදවා ගැනීම විශේෂ තත්වයක් හැටියට කල්පනා කරන්න පුළුවන්. 70 දශකයේ වර්ධනය වූ ජනප‍්‍රිය රැුල්ලේ සිනමා රටාවක පේ‍්‍රම ජවනිකාවල දී මල් ගස් වටේ යන, සටන් ජවනිකාවල සිටින, එහෙමත් නැත්නම් විකටයන් ලෙස පේ‍්‍රක්ෂකයන් පිනවන රංග ශිල්පීන් දේශපාලන තේමාවකින් යුතු සිනමා කෘතියකට තෝරාගැනීම අභියෝගකාරී නැද්ද? සොල්දාදු උන්නැහේ චිත‍්‍රපටියට නළු නිළියන් තෝරාගැනීමේ දී මොනවද සලකා බැලූවෙ කියන ප‍්‍රශ්නයත් අපි ඔහුගෙන් ඇහුවා.
”බඹරු ඇවිත් චිත‍්‍රපටය කරපු නිසා ඒ දවස්වල විජය, මාලිනී, ජෝ වගේ අය සමීප මිතුරන් ලෙස ඇසුරු කරන්න මට හැකි වුණා. ඒ අයගෙ හැකියාවන් හා දුබලතා ගැන වැටහීමක් තියෙනවනෙ. කොහොමටත් සොල්දාදු උන්නැහේ චිත‍්‍රපටියෙ දී වෙනස්ම චරිතයක් වුණේ මාලිනීගෙ චරිතය. පෙම්වතියගෙ චරිතය රඟපාලා සිනමා රසිකයන් අතර සලකුණු වෙච්ච ශිල්පිනියක් හැටියටත් මීට කලින් සංකීර්ණ චරිතවල යෙදිලා නැති නිසාත් සමහරු කිව්වා මාලිනි මේ චරිතයට ගන්න එක ගැන ආපහු හිතල බලන්න වෙයි කියලා. නමුත් අපිට තිබුණෙම වෙනස් චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක්. පිටපතත් වෙනස්. සිනමාවෙ ඉන්න රංග ශිල්පීන්ම යොදාගන්න එක ගැන අපට විවාදයක් තිබුණෙත් නෑ.
දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ සොල්දාදුවෙක්, නාගරික කම්කරුවෙක්, ගත මස විකුණන කාන්තාවක් සහ ඇගේ සහායකයා ඇසුරින් සොල්දාදු උන්නැහේ සිනමා කෘතිය දිගහැරෙනවා. නිදහස් දිනය තුළ සිදුවීම් පෙළකින් කතා පුවත ගොඩනැෙඟන්නෙ. යම්තාක් දේශපාලන වැටහීමක් සහිත කම්කරුවා වැඩවර්ජනයක් කරලා හෙම්බත් වෙලා. සොල්දාදුවා අධිරාජ්‍යවාදීන් ලෝකය බෙදාගන්න කරපු යුද්ධයට ගිහින් එහි දේශපාලන අර්ථය වටහාගෙන පැමිණියෙක්. ගණිකාවක් ලෙස ගත මස විකිණුවත් මනුෂ්‍යත්වය අහිමි කර නොගත් ගැහැනියක් මේ කතාවේ තවත් ප‍්‍රධාන භූමිකාවක් උසුලනවා. ඇගේ ජීවිතය නොදැනුවත්කමින් පිරිලා. නිදහස් දිනයෙදි පාලකයන් විසින් ජනයාට වර්ණනා කරන පරමාධිපත්‍ය කියන බොරුව ගැන සොල්දාදුවා කතා කරනවා. ආයුධ ගත්ත හමුදාව විසින් රකින පාලකයන් පරමාධිපත්‍ය හොරකම් කර තිබෙන බව සොල්දාදුවා වටහා ගෙන තියෙන්නෙ. ඒ ගැන තමන් අවට ඉන්න පීඩිතයන්ට කියා දෙන්න ඔහු උත්සාහ කරනවා. නමුත් පරමාධිපත්‍ය කියන වචනෙවත් අහලා නැති උන් හිතන්නෙ ඒක කුණුහරුපයක් කියලයි.’’
තමන් පිළිබඳ සහ තමන් පාලනය වියයුතු ආකාරය පිළිබඳ තමන්ටම තීරණය කරගැනීමේ හැකියාව තිබිය දී ඒක පාලක පැලැන්තියකට බාර දීම ජනතාව විසින් කළ වරදක්. පරමාධිපත්‍ය වශයෙන් අලංකාර වචනයකින් කියැවෙන පීඩිතයන් වන අපට අහිමි අපේ නිදහස, අපේ බලය ගැන සොල්දාදු උන්නැහේ කියන කතාව වර්තමාන පරම්පරාවත් දැනගත යුතුමයි.
එහෙත් අහම්බයකින් හෝ රූපවාහිනී තිරයක ‘දැන්වීම් අතිරේකයක්’ ලෙස නොපෙන්වුවොත් එවැනි චිත‍්‍රපට බලන්නවත් අවස්ථාව අපට අහිමියි. පරමාධිපත්‍ය ගැන වටහා ගන්න, කතා කරන්න තියා ඒ ගැන කියැවෙන සිනමා නිර්මාණයක්වත් රස විඳින්න අපට බෑ. ඔහුගේ කාලයෙන් සෑහෙන කොටසක් සොල්දාදු උන්නැහේ ගැන මේ සංවාදයට යොදාගත් අපි ධර්මසේන පතිරාජ නමැති ඒ සුවිශේෂ කලාකරුවාගෙන් සමුගෙන එන්න පිටත් වුණා.