தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
රාගම - හදිසි ප්‍රතිකාර ඒකකය හවස 4න් පසු වසා දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාගම – හදිසි ප්‍රතිකාර ඒකකය හවස 4න් පසු වසා දමයි



උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මසක පමණ සිට හවස 4න් පසුව වසා දැමීමට සිදුව තිබෙන බව වාර්තා වේ.

රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය නව ගොඩනැගිල්ලක් වෙතට රැගෙන යාමෙන් පසු ඒ සඳහා අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සහ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇත.

රෝහලක අතිශය වැදගත් ඒකකයක් ලෙස සැලකෙන පැය 24 පුරාම සක්‍රීයව තිබිය යුතු ඒකකයක් වූ හදිසි ප්‍රතිකාර ඒකකය මෙලෙස අක්‍රිය වීම හේතුවෙන් පෙර පරීක්ෂා කිරීමකින් තොරවම රෝගීන් වාට්ටු වෙත යොමු කිරීමට සිදු ඇති අතර එම තත්වය රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්කරමින් ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු පවසා සිටියේ නිදහස් සෞඛ්‍ය සේවය පිලිබඳ ජනතා අප්‍රසාදය ඇති කරමින් සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ උවමනාව වෙනුවෙන් රාජ්‍ය රෝහල් පරිපාලනයන් මෙලෙස වරින් වර අක්‍රිය කෙරෙන බවය.

නිසි ලෙස පුරප්පාඩු පිරවීමකින් තොරව රෝහලේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ට වෛද්‍යවරුන් විශාල පිරිසක් රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් අත්තනෝමතික ලෙස එකවරම සේවයෙන් නිදහස් කිරීම මත අවම වූ නිලධාරී මණ්ඩලයක් නඩත්තු කරගත නොහැකිව හදිසි ප්‍රතිකාර ඒකකය උදෑසන 8.00 සිට සවස 4.00 වන තෙක් පමණක් ක්‍රියාත්මක වන බවත් මේ හේතුවෙන් රෝගී ජීවිත බරපතල අවදානම පවතින බව ඔහු පෙන්වා දෙන ලදි.

පසුගිය සෙනසුරාදා (16)දින රෝහලට ඇතුලත් කෙරුණු වයස අවුරුදු 8ක කුඩා දරුවෙකු පසු දින අලුයම ජීවිතක්‍ෂයට පත්වීම සහ රෝහල් සේවා අක්‍රීය වීම අතර සෘජු සම්බන්ධයක් ඇති බවට දැඩි සැකයක් පවතින බවත් එම මරණය පිලිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව විවෘත තීන්දුවක් ද ලබා දී ඇති බවත් වෛද්‍යවරයා විසින් පවසන ලදි.

රෝගී ජීවිත අනතුරේ හෙළන මෙවැනි බරපතල තත්වයන් පිලිබඳ සමස්ත ජනතාවගේම අවධානය හිමි විය යුතු බවත් මෙම ගැටලුවට වහාම මැදිහත් වී රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය නිසි අයුරින් ක්‍රියාත්මක කරවීමට ආණ්ඩුවට බල කරන බවත් කැඳවුම්කරු වැඩි දුරටත් අදහස් දක්වමින් අප වෙත පැවසීය.

නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු අදහස් දක්වමින්