Posted on 07.03.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ දේශපාලන හිතවතුන්ට වරදාන දීම සදහා දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන දෙන බව කියමින් වැරදි අයුරින් පත්වීම් ලබාදීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට විරෝධය පා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් හෙට (4) දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වෙති.
වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සමඟ අද (3) පස්වරුවේ පැවති සාකච්ඡාවක අසාර්ථක වූ අතර වැඩවර්ජනය හෙට පවත්වන බව ඔවුන් පවසා තිබේ. මේ අතර හෙට පාසල් වසා දමන්න ඉඩ දිය නොහැකි බව ඇමති අජිත් පෙරේරා පවසයි. අධ්‍යාපන පරිපාලන සේවය, අධ්‍යාපනඥ සේවය, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් යන අධ්‍යාපනය හා සම්බන්ධ සේවාවන් 4ම මෙම වැඩවර්ජනයට එක්වන බව පවසා තිබේ. මෙලෙස අධ්‍යාපනයේ සියලු අංශ එක්වර වැඩවර්ජනයකට එක්වන්නේ ඉතිහාසයේ පළමු වරට බව ලංකා ගුරු සංගමෙයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයට බඳවා ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් තිබියදී දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටුකිරීමට බව කියමින් දේශපාලන ලැයිස්තුවකට අනුව එම පත්වීම් ලබාදීමට වත්මන් රජය ගන්නා උත්සාහය අනුමත කළ නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළේය. දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත අධ්‍යාපනය වැනි සේවාවක් සඳහා මෙලෙස පත්වීම් ලබාදීමෙන් එම සේවයේ ගුණාත්මකභාවයට හානි වන බවද ඔහු කීය. ඒම නිසා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ප්‍රගති ගුරු සංගමය, ශ්‍රී ලංකා මහජන ගුරු සංගමය, ඒකාබද්ධ ගුරු දේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයෝ මෙම වැඩවර්ජනයට එක්වන බව ද ඔහු සඳහන් කළේය. පාසල්වල කටයුතු මෙම වැඩ වර්ජනයෙන් අඩාල විය හැකි නමුත් සමස්ත දරු පරපුර වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයක් බවද ඔහු කීවේය.