පෙළපොත් නොමිලයේ දීම වෙනුවට විකුණන තැනට තල්ලු කරනවා – ජෝශප් ස්ටාලින්

පාසල් පෙළපොත් නොමිලයේ පිරිනමන ක්‍රමය වෙනුවට සැලසුම් සහගතව වෙළෙදපොළ මිලගැනීමේ ක්‍රියාවලියකට තල්ලු කෙරෙන බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ පාසල් පෙළ අඩු මුදලට පොත් මුද්‍රණය කිරීමේ හැකියාව රජයේ මුද්‍රණාලයට තිබියදී පෞද්ගලික සමාගම්වලට පෙළපොත් මුද්‍රණ කොන්ත්‍රාත් ලබාදීමෙන් විශාල අක්‍රමිකතාවක් සිදුකරන බවයි. තවදුරටත් ඔහු පෙන්වා දෙන්නේ පෙළපොත් ප්‍රමාණයෙන් 97%ක් මුද්‍රණය සදහා මුද්‍රණ සමාගම් 26කට ලබා දී ඇති බවය. රජයේ මුද්‍රණ සංස්ථාව අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන රු.මිලියන 88ක් වැය කරමින් එය නවීකරණය කළ නමුත් එම වියදමෙන් අවශ්යන ප්‍රතිලාභ ලබාගන්නට ආණ්ඩුව කටයුතු නොකරන බව ඔහු චෝදනා කරයි.
වාර්ෂිකව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් පෙළපොත් කාණ්ඩ 400ක් මුද්‍රණය කරනු ලබන අතර එයින් 24ක් මුද්‍රණ සංස්ථාවට ලබා දී පොත් කාණ්ඩ 376ක්ම සමාගම් හරහා මුද්‍රණයට ලබාදී ඇත. අයවැයෙන් පෙළපොත් මුද්‍රණයට වෙන් කළ රු.මිලියන 4385 මහජන මුදලින් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට ගෙවමින් රජයේ මුද්‍රණ ආයතනය නිකරුණේ තබන බව ගුරුසංගමය චෝදනා කරයි.
මෙම ක්‍රමය යටතේ රජයේ පාසල් සදහා අවශ්‍ය පෙළපොත් මිලියන 41න් 2018 වසරේ සැබැවින්ම මුද්‍රණය කර ඇත්තේ මිලියන 28ක් බවද එමගින් පෙළපොත් හිගයක් මවා පාසල් දරුවන්ගේ මව්පියන් පෙළපොත් මිලදී ගැනීමේ ක්‍රියාවලිය වෙත මාරුවීමට පොළඹවන බවද ඔහු පවසයි.

Chandana Sirimalwatte :