යෝජිත සබරගමුව සරසවි වෛද්‍ය පීඨය වහා ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් සරසවි සිසුන් සිදු කරනු ලබන අඛණ්ඩ අරගලයේ ක්‍රියාමාර්ගයක් ලෙස ඊයේ(26) දින රත්නපුර නගරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සබරගමු සරසවි මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුණි.
ආණ්ඩුව විසින් පෞද්ගලික අධ්‍යාපනය සඳහා සිය උපරිම මැදිහත් වීම සිදු කරමින් මාලඹේ SAITM ආයතනය වැනි හොර උපාධි කඩ වෙනුවෙන් ජනතා මුදල් මිලියන ගණන් වෙන්කරමින් අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් සිටින බවත් ජනතාවගේ නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය අයිතිය පුළුල් කල හැකි මෙම වෛද්‍ය පීඨය සඳහා සිසුන් බඳවා ගනිමින් කඩිනමින් ආරම්භ කරන ලෙසත් ආණ්ඩුවට බල කර යුතු බව සබරගමුව මහා ශිෂ්‍ය සංගමය මෙහිදී පැවසීය.
මෙම නගර දැණුවත් කිරීමේ වැඩසටහන යටතේ අද(28) දිනයේ කිරිඇල්ල සහ කුරුවිට නගරයන්හි ජනතාව දැනුවත් කිරීම් සිදු කරන බව පැවසේ.
මෙම සරසවිය සඳහා 2010 වර්ෂයේ සිසුන් 125දෙනෙක් සහිතව රත්නපුර මහ රෝහල මූලික කර ගනිමින් වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට 2009 වර්ෂයේ යෝජනා කර තිබු අතර මේ වන විට අදාළ යෝජනාව සිදුකර වසර 8කට අධික කාලයක් ගත වේ. එහෙත් මේ සම්බන්ධව අවම මැදිහත්වීමක් සිදු කිරීමට ආණ්ඩුව ක්‍රියා කර නොමැති අතර දිනෙන් දින අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීම සඳහා ඇති මාර්ග පුළුල් කරමින් කටයුතු කරන බව පැහැදිලිව දක්නට ඇත.