தமிழ்
English
Contact
Monday 24th June 2019    
ගුරුවරුන්ට සටන් කිරීම ඇරෙන්න වෙන විකල්පයක් ඉතිරි කරලා නෑ! - සංජීව බණ්ඩාර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුරුවරුන්ට සටන් කිරීම ඇරෙන්න වෙන විකල්පයක් ඉතිරි කරලා නෑ! – සංජීව බණ්ඩාර



ගුරු හා විදුහල්පති සේවාවන්වල නිර්මාණය වී ඇති ගැටලූ පිළිබඳව හා ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ ගුරු සේවා සංගමය ගෙන යන උද්ඝෝෂණික ක‍්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද දින (21) කොළඹ ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡුාවකදී එහි සංවිධායක ලේකම් සංජීව බණ්ඩාර සහෝදරයා මේ පිළිබඳ අදහස් දැක්වීය. එහිදී ඔහු කියා සිටි අදහස් සංක්ෂිප්තව මෙසේය.
”අද පාසල් පද්ධතිය වෙලාගෙන පවතින මේ ප‍්‍රශ්න හදිසියේ ඇතිවුණු ප‍්‍රශ්න නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ ගුරුවරු පීඩාවට පත්වෙලා ඉන්න ප‍්‍රශ්න. මේවා විසඳන්න කියලා අනන්තවත් ඉල්ලීම් කරලා තියෙනවා. වෘත්තීය ක‍්‍රියාමාර්ග අරගෙන තියෙනවා. නමුත් මේ එකඳු ප‍්‍රශ්නයක්වත් විසඳන්න මේ රටේ අධ්‍යාපන බලධාරීන් කටයුතු කරලා නෑ. ඔවුන් අඩුම තරමේ මේ ප‍්‍රශ්න ගැන හරිහමන් අවබෝධයකින්වත් ඉන්නවද කියන එක ගැටලූවක්. හරි විදියට නම් ආණ්ඩුව කළ යුත්තේ පාසල් ක්‍ෂේත‍්‍රය වෙලාගත් මේ ප‍්‍රශ්න විසඳලා පාසල් අධ්‍යාපනය දියුණු කරන්න සංවර්ධනය කරන්න කටයුතු කරන එකයි. ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට යහපත් මානසිකත්වයකින් හා ආත්මතෘප්තියකින් යුතුව තම ඉගැන්වීම් කටයුතු කරන්න හැකි වටපිටාවක් නිර්මාණය කිරීමයි. නමුත් අද සිද්ධවෙන්නේ ඒක නෙවෙයි. එපා වාහෙට හොදි බෙදන්නා වාගේ ඒ ප‍්‍රශ්න නොවිසඳා ඒවා වර්ධනයවීමට ඉඩදී පාසල් ස්වයං විනාශයකට තල්ලූ කරලා තියෙනවා.
ගුරු හා විදුහල්පති සේවාවන් මුහුණ දෙන මේ ගැටලූ ගත්තොත් ඒවා හරියට පිළිකාවක් වගේ ඔඩු දුවල තියෙනවා. දැන්වත් සැත්කම කරේ නැත්නම් අපේ මේ පාසල් පද්ධතිය විනාශවෙන එක වලක්වන්න බෑ. එක පැත්තකින් ගුරුවරු අද ඉතා විශාල ආර්ථික ප‍්‍රශ්නයකට මුහුණදීල ඉන්නවා. අනෙක් පැත්තෙන් ඉතාමත් ලේසියෙන් විසඳන්න පුළුවන් පරිපාලනමය ගැටලූ විසඳන්නේ නැතිව අද ඔවුන් අර්බුදයට ඇද දමලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අනෙක් පැත්තෙන් දැන් අධ්‍යාපනයට ප‍්‍රතිපාදන වෙන්කරන්නේ නැතිව පාසල් නඩත්තුව හා පවත්වා ගෙනයාමත් විදුහල්පතිවරුන් ගුරුවරුන් හා දෙමව්පියන් මත පටවලා මේ අර්බුදය තව තවත් උග‍්‍රකරමින් තිබෙනවා.
ගුරු වැටුප් ප‍්‍රශ්නය ඉතාමත් බරපතලයි. අද ලැබෙන සොච්චම් වැටුපෙන් ගුරුවරයෙක්ට ජිවත්වෙන්න පුළුවන්කමක් නෑ. ගෙයක් දොරක් හදාගන්න, තමන්ගේ දරුවන්ගෙ අධ්‍යාපනයට, යතුරු පැදියක් ගන්න මේ ආදී වශයෙන් ගුරුවරු කරවටක් ණයවෙලා. ණය වාරිකවලට කැපුණම ඉතිරිවෙන සොච්චමෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ නිසා ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. මේක අද ගුරු සේවයට විතරක් නෙවෙයි අනෙකුත් රාජ්‍ය, පෞද්ගලික, අනියම් කොන්ත‍්‍රාත් යන සියලූම ක්‍ෂේත‍්‍රවලටත් පොදුකාරණයක්. මේ පොදු වැටුප් පිළිබඳ ප‍්‍රශ්නයෙන් ගුරුවරු එක් පැත්තකින් බැට කනවා. ඊට අමරතව ගුරුවරු මුහුණදෙන සුවිශේෂී ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි බී.සී. පෙරේරා වැටුප් කොමිසම හරහා සිදු කළ අසාධාරණය.
ගුරු සේවය ස්ථාපිත කරගන්න, ගුරු සේවය විධිමත් බඳවාගැනීම්, උසස්වීම් හා මාරුවීම් සහිත පිළිගත් දීප ව්‍යාප්ත සේවයක් කරගන්න ගුරුවරු දශක ගණනක් තිස්සේ සටන් කළා. පාදඩ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර ගෞරවයක්, අභිමානයක් සහිතව කටයුතු කළ හැකි වෘත්තියක් බවට පත්කරගන්න සටන් කළා. අන්න ඒ අරගලයේ ප‍්‍රතිඵලයක් විදිහට 94 දි ගුරු සේවය දීපව්‍යාප්ත සේවාවක් කරන්න පාලකයන්ට සිදු වුණා. ගුරු සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය සමාන්තර සේවාවන් බවට පත්කරා. ගුරු සේවයට ඒකාබද්ධ සේවා වැටුප් තල ලබාදුන්නා. මොන අඩුපාඩුකම් සහිතව වුණත් ගුරු සේවය ස්ථාපිත කරගැනීමට හැකිවීම ගුරුවරුන් ලද සුවිශාල ජයග‍්‍රහණයක් ලෙස අපි දකිනවා.
97 දී බී.සී. පෙරේරා කොමිසම ගෙනල්ලා කරපු දේ තමයි මෙන්න මේ අයිතිය උදුරා ගන්නවා. ගුරු සේවය අහෝසි කරලා ගුරු හා විදුහල්පතිවරුන් සඳහා හිමිවුණු ඒකාබද්ධ සේවා වැටුප් තල කප්පාදු කරනවා. මේ කොමිසමෙන් අනෙකුත් සේවාවන්ගේ වැටුප් 60%කින් වැඩි කළා. නමුත් ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් වැඩි කළේ නෑ. පසුව සලකා බලනවා කිව්වා. නමුත් තවමත් ඒ සලකා බලන දවස උදාවෙලා නෑ. මේකේ ප‍්‍රතිඵලයක් ලෙස 1994 දී සමාන වැටුප් තලවල හිටිය ගුරු සේවය හා අධ්‍යාපන පරිපාලන සේවය අතර වැටුප් විෂමතාවයක් නිර්මාණය වුණා. හරියටම කිව්වොත් ගුරුවරයට ලැබිය යුතු වැටුපෙන් කොටසක් මේ කොමිසමෙන් කොල්ල කෑමට ලක් කළා. පසුව මේ වැටුප් විෂමතා ඉවත් කරන්න පොරොන්දු වුණා. හැබැයි තවමත් මේ අසාධාරණය නිවරදි වෙලා නෑ. ඒ වෙනුවට මේ කොමිසමෙන් පස්සේ ගෙනාපු සියලූම වැටුප් කොමිසන් හා චක‍්‍රලේඛ හරහා සිද්ධවුණෙත් මේ විෂමතාව තව තවත් වර්ධනය වීම පමණයි. 2020 වර්ෂය වන විට විෂමතාවය ඉතාමත් බරපතලයි. මාසිකව ගත්තත් ගුරුවරයෙක්ගෙන් කොල්ලකන මුදල ඉතාමත් විශාලයි. මේ වැටුප් විෂමතා ඉවත් නොකිරීමෙන් ගුරුවරුන්ට අහිමිවෙන මුදල අපි බලමු. දෙකේ දෙක ශ්‍රේණියේ ගුරුවරයෙකුට මාසෙකට රු. 14315 ක්, දෙකේ එක ශ්‍රේණියේ ගුරුවරයෙක්ට 23125ක්, පළමු පංතියේ ගුරුවරයෙක්ට 30685ක් වශයෙන් අහිමි කරනවා. මේක පොඩි ගණනක් නෙවෙයි. මේ ගුරුවරයට ලැබිය යුතු වැටුප් හිමිකම ලැබුණ නම් ඔහුට ටියුෂන් කරන්න අවශ්‍ය නෑ. වෙන වෙන ආදායම් මාර්ග පස්සේ යන්න වෙන්නේ නෑ. ඔහුට සිය ඉගැන්වීමේ කටයුතු වෙනුවෙන් විවේකය ලැබෙනවා. නමුත් ආණ්ඩුවට මේ ප‍්‍රශ්න විසඳන්න කිසි උනන්දුවක් නෑ. ඒකට ගුරුවරුන් විදිහට සටන් කිරීම ඇරෙන්න වෙන විකල්පයක් ඉතිරි කරලා නෑ.
මේ වැටුප් ප‍්‍රශ්නය ගුරුවරයට විතරක් අදාල ප‍්‍රශ්නයක් නෙවෙයි. අපි හිතනවා මේක මුළු අධ්‍යාපනයටම බලපානවා. ලෝකයේ අධ්‍යාපනය ගැන වද වෙන රටවල් ගුරුවරුන් සඳහා ඉහළ වැටුප් තල ලබාදීල තියෙනවා. ඒකට හේතුව තමයි දක්ෂයින් මේ ක්‍ෂේත‍්‍රය තුළ රඳවාගන්න නම් ඒක අද අවශ්‍යයි. ගුරු වැටුප් පිළිබඳය ප‍්‍රශ්නය නිසා අද ගුරු වරු මේ වෘත්තිය අතඇරල යනවා. පහුගිය කාලෙ බඳවාගත් ගුරුවරුන් විශාල ප‍්‍රමාණයක් ගුරුසේවය අත ඇරලා වෙන රැුකියාවලට ගියා. මේ රටේ බලධාරීන්ට ඒ ගැන කිසිම හැඟීමක් නෑ. මොකද ඔවුන්ගේ අරමුණ රාජ්‍ය අධ්‍යාපනයේ පරිහානිය කියලා අපි අදන්නවා. ඔවුන් මේ ප‍්‍රශ්න නොවිසඳා බලාගෙන ඉන්නේ පාසල් ස්වයංවිනාශය දක්වා ගෙනියන්න බව ඉතාමත් පැහැදියි. මේ ප‍්‍රශ්න විසඳන්න ආණ්ඩුවට මුදල් නෑ. හැබැයි දැයි ජාත්‍යන්තර පාසල් සඳහා රජයෙන් ආධාර ලබාදෙන්න යනවා.
ගුරුවරුන් අද බැටකමින් ඉන්නේ මේ වැටුප් ප‍්‍රශ්නෙන් විතරක් නෙවෙයි. උසස්වීම් හා ගුරු මාරුවීම් පිළිබඳ ප‍්‍රශ්න හින්දා අද බොහෝ ගුරුවරු පීඩාවිඳිනවා. අද මේ ක්‍ෂේත‍්‍රය තුළ පොඩි ප‍්‍රශ්නයක් වත් විසඳන්නෙ නෑ. වැටුප් වර්ධකය වැටුපට එකතු කරලා නෑ. රට පුරා අධ්‍යාපන කලාප ගණනාවක මේ ප‍්‍රශ්නය තියෙනවා. ඒ විතරක් නෙවෙයි හිඟ වැටුප් ගෙවන්නෙ නෑ. මේ ප‍්‍රශ්න නිර්මාණය වුණේ ගුරුවරුන්ගේ වරදින් නෙවෙයි. දැන් සමහර අධ්‍යාපන කලාප තියෙනවා අවුරුදු ගණනක් හිඟ වැටුප් ගෙවලා නෑ. ලක්ෂගානක් ගෙවන්න තියෙනවා. ගුරුවරුන්ට අද තමන්ට හිමි වැටුප ගන්නත් සිය වතාවත් කලාප කාර්යාල ගානෙ බඩගාන්න වෙලා. ඒ විතරක් නෙවෙයි අනෙක් ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි අනවශ්‍ය කොල පිරවිල්ල. මේක අද ගුරුවරුට විශාල වදයක් වෙලා තියෙනවා. ඇගයීම් කිය කියා එක එක ජාතියේ වාර්තා පුරවාගන්නවා. පාසලේ භෞතික සම්පත්වල ඉදල පාසල් සංවර්ධන සමිතිවල මූල්‍ය වාර්තා දක්වා වාර්තා, නිළ ඇඳුම් වවුචර්, රක්ෂණ වාර්තා, පෙළපොත් වාර්තා තොගපිටින් පුරවන්න වෙලා තියෙනවා. කොල පුරව පුරවා ඉන්නවා ඇරෙන්න ගුරුවරයෙක්ට අද වැඩ කරන්න වෙලාවක් නෑ. සමහර ගුරුවරු අපි දන්නවා විෂයන් දෙක තුනක් උගන්වනවා. දවසේ පීරියඞ් අටේම වැඩ. එක්කෝ හවසට නැවතිල මේ වාර්තා පුරවන්න වෙනවා නැත්නම් ඉගැන්වීම් තවත්වලා ඒවා කරන්න සිද්ධවෙලා තියෙනවා. ඒ මදිවට සෞඛ්‍ය, පරිසර වගේ අමාත්‍යාංශවල වැඩ, පළාත් සභා ප‍්‍රාදේශීය සභා යන ආයතනවල වැඩ, මේ සියලූ වහල් වැඩ ඔක්කොම ගුරුවරු ලවාකරගන්න යනවා. මේකෙන් වෙන්නේ ගුරුවරුන්ට ඉගැන්වීම් කරන්න, ඒවට සූදානම් වෙන්න අද වෙලාවක් නෑ. මේ කොල පිරවිල්ල හරහා ගුරුවරු සිය වෘත්තිය තුළ අතෘප්තිමත්වීම ඇර වෙන ලැබෙන දෙයක් නෑ. කණගාටුදායක තත්ත්වය තමයි මේ රටේ අදබාල පාලකයන්ටවත්, කොදෙව් මානසිකත්වයේ ඉන්න නිළධාරීන්ටවත් මේවා තේරෙන්නෙ නෑ.
අනිත් ප‍්‍රධානම ප‍්‍රශ්නය තමයි ප‍්‍රතිපාදන කප්පාදුව. පාසල් අද පවත්වාගෙන යන්න බෑ. හොඳ අධ්‍යාපනයක් සඳහා අධ්‍යාපනයට 6% ක් වෙන් විය යුතුයි. නමුත් අද අධ්‍යාපනයට 2%ක් වත් ප‍්‍රතිපාදන වෙන්කරන්නේ නෑ. ප‍්‍රතිපාදන වෙන් නොකර ආණ්ඩුව අනෙක් පැත්තෙන් පාසල් පවත්වාගෙන යාමේ වගකීම ගුරුවරු, විදුහල්පතිවරු හා දෙමව්පියෝ මත පටවමින් ඉන්නවා. ඒකට චක‍්‍රලේඛ එවනවා. ඒ නිසා දැන් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට සිද්ධවෙලා තියෙන්නේ දරුවන්ගෙ අධ්‍යාපනය ගැන වදවෙනවට වඩා පාසල නඩත්තු කරන්නේ කොහාමද කියල හිත හිතා වදවෙන්න. මුදල් හොයන්න විවිධාකාර ව්‍යාපෘති කරන්න. මේක අපි දකිනවා ඉතාමත් භයානක තත්ත්වයක් මේ විදිහට ගියොත් පාසල් ව්‍යාපාරික මානසිකත්වයකට වැටෙනවා. තවදුරටත් එතකොට ගුණාත්මක අධ්‍යාපනයක් ගැන බලාපොරොත්තු තියන්න බෑ. ඒ නිසා අපි කියනවා අධ්‍යාපනයට ප‍්‍රතිපාදන දීල පාසල නඩත්තු කිරීමේ වගකීම රාජ්‍ය බාරගත යුතුයි. ඒ වගකීම ගුරුවරු හා දෙමාපියන් මත පටවන්න දෙන්න බෑ.
අපි ඒකාබද්ධ ගුරු සේවා සංගමය විදිහට මේ සියලූ ප‍්‍රශ්න විසඳන්න කියන බලපෑම ආණ්ඩුවට කරනවා. ආණ්ඩුව තවමත් ගුරු බලය අඳුනාගෙන නෑ. ඒ නිසා තමයි ගුරු ප‍්‍රශ්න විඳන්න කිසි උනන්දුවක් නැති පාලකයෝ කිසි බයක් සැකක් නැතිව අද ගුරුවරු, විදුහල්පතිවරු දණගස්සන්න, හිරේ විලංගුවේ දාන්න හයියක් අරගෙන ඉන්නේ. පාසල් පටු දේශපාලන අරමුණුවෙනුවෙන් යොදාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි කියනවා දැන්වත් මේ ප‍්‍රශ්න විසඳන්න සූදානම් නැත්නම් මේ රටේ ගුරු බලය ඉදිරියෙදි ආණ්ඩුවට දැන්ගන්න ලැබෙයි. අපි ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා අපි ඒ තැනට පත්කරන්න එපා.
මේ ඉල්ලීම් මුල් කරගත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අපි පෙබරවාරි 28 වැනිදා සවස 2.00ට ඉසුරුපාය ඉදිරිපිට සංවිධානය කරල තියෙනවා. ඒ නිසා අපි මේ රටේ සියලූම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා, මේ තිබෙන ගැටලු විසදාගන්නට එක්වෙමු. සංවිධානය වෙමු. සටන් වදිමු. “