සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව නව වෛද්‍ය පීඨයක් මෙම මස 17 දා විවෘත වන කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම වෛද්‍ය පිඨය ඉදිකර ඇත්තේ කුරුවිට බටුහේනේ ප්‍රදේශයේයි. මෙහි පළමු අදියර යටතේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දෙනකු බඳවාගනු ලබන අතර ඔවුන් ලියාපදිංචි කිරීමද විවෘත කිරීමේ දිනදී සිදු කිරීමට නියමිත බව සබරගමුව විශව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කර තිබේ.
වෛද්‍ය පීඨයට අවශ්‍ය අති නවීන පහසුකම් සහ තාක්ෂණයෙන් යුත් රසායනාගාර පහසුකම්, බඳවා ගන්නා සිසුන්ට පුර්ණ නේවාසික පහසුකම් මෙහි ස්ථාපිත කර තිබේ.විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතේ කුරුවිට බටුහේනේ ඉදි කර තිබු පුහුණු මධ්‍යස්ථානය වෛද්‍ය පීඨයක ඇති අවශ්‍යතාව මත පදනම්ව සබරගමු විශ්ව විද්‍යාලයට පවරා දීමෙන් අනතුරුව මෙම වෛද්‍ය පීඨය ඉදි කර ඇත.
මෙම වෛද්‍ය පීඨය ඉදි කිරීමත් සමඟ ලංකාවේ 10 වැනි වෛද්‍ය පීඨය ලෙස මෙම වෛද්‍ය පීඨය නම් කළ හැකිය. එමෙන්ම වයඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයන්හිද වෛද්‍යපීඨ ඉදි කිරීමට නියමිතය.
වෛද්‍ය පීඨය විවෘත කිරීමට සමගාමීව රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්වන අතර එසේම මෙම වසර තුළදී එම රෝහල තුළ මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරීමටද නියමිතය.
පසුගිය සමයේ පැවති සයිටම් විරෝධී අරගලයේදී ශිෂ්‍ය සංවිධාන ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨයක් වූවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පහසුකම් පුළුල් කරන ලෙසයි. එහිදී වෛද්‍ය අධ්‍යපනය පුළුල් කිරීමට කරන ඉල්ලීම්ද ඇතුළත් විය. අධ්‍යාපන පෞද්ගලිකකරණ සැලසුම් ඉදිරියට ගැනීම සදහා රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙන්ම හවුල් ආණ්ඩුව විසින්ද දින නියමයක් නැතිව කල් දමා තිබුණූ සබරගමුව හා මොරටුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ව්‍යාපෘති අවධානය යොමුවන්නට වූවේ ලංකේය ශිෂ්‍ය ව්‍යාපරය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග විසින් අඛණ්ඩව සිදු කරමින් තිබෙන නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමේ සටනේ තවත් ජයග්‍රාහී ප්‍රතිඵලයක් ලෙසයි.