Posted on 10.24.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පසුගියදා පැවති විරෝධතාවය මෙහෙයවූ සිරකරුවන් 08 දෙනෙකු අද (24) අගුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් ඉවත්කර වෙනත් බන්ධනගරයන් වෙත මාරුකර යවන ලද බව වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බන්ධනාගාර රාජකාරිවලින් ඉවත් කරන ලෙස ඉල්ලා සිරකරුවන් විසින් දියත් කළ මෙම විරෝධතාවයෙන් අනතුරුව සිදුකරන ලද පරීක්ෂණයකින් පසුව බන්ධනාගාර පාලකයන් විසින් සිරකරුවන් 08 දෙනකු වරදකරුවන් ලෙස නම්කර ඇත. මාරු කරනලද සිරකරුවන් අතර ජුලම්පිටියේ අමරේ , අබේනායක , තංගල්ලේ මහේෂ් , ඇතුළු පිරිසක් සිටින අතර මොවුන් කළුතර, කුරුවිට, ගාල්ල, මාතර, මොනරාගල යන බන්ධනාගාර වෙත මාරු කර තිබේ .
මෙසේ විශේෂ කාර්ය බලකාය දිවයින පුරා සියලුම බන්ධනාගාරවල රාජකාරි සදහා කැදවන බවද බන්ධනාගාර අමාත්‍යංශය පවසයි. අගුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ඉවත් කරන ලෙස සිර කරුවන් කරන ලද ඉල්ලීමට අමතරව බන්ධනාගාර අධිකාරී ඩබ්ලිවු.පී ධම්මික ඉවත් කරන ලෙසද ඉල්ලා සිටින ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස විරෝධතාකරුවන් සමග බන්ධනාගාර නිලධාරින් කළ සාකච්ඡාවේදී බන්ධනාගාර අධිකරිවරයා මාරුකර යවා මාතර බන්ධනාගාර අධිකාරිවරයා එහි වැඩ භාරගන්නා ලද බවට නිවේදනය කෙරිණි. කෙසේවෙතත් විරෝධතාව පාලනය කිරීමෙන් පසුව හිටපු බන්ධනාගාර අධිකාරීවරයා නැවත අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයා වශයෙන් පත් කොට ඇත.